Pages

Sandumal

Sandumal
Showing posts with label සිතුවිලි. Show all posts
Showing posts with label සිතුවිලි. Show all posts

Monday, January 7, 2019

•මුල

"අතීතෙක දුර ඈත දවසක..."



මල්වතු ඔයේ ඉවුරක
අතීතෙක දුර ඈත දවසක...
නම නොදන්නා උතුම් මිනිසෙකු
පැල කරපු වී අහුර අදටත්
රටක කුසගිනි නිවන අරුමය...

Saturday, October 22, 2016

•වැහි මතක

"හුරුපුරුදු සුවඳකින් වෙලෙයි මගෙ සියොළඟම..."



වහිනවා අනෝරා වැහි..
අඳුරුලලා පාසල් බිම..
ලා අඳුරෙ ගුලිවෙලා
උස මහත ගොඩනැඟිලි..

නඟිනවිට පඩිපෙල්..
හරිම අඳුරුයි කොරිඩෝ..
සීතලයි පාලුයි..

දශකයකටත් දුර එපිට
මිහිරිතම අතීතෙක
හුරුපුරුදු සුවඳකින්
වෙලෙයි මගෙ සියොළඟම

මෙවන් වැහි කෝඩ වල
ඔබ එතැයි මඟබලා
උඩතට්ටුවට වී මං
හිටිය හරි සීතලෙන්..

පතා ඔබෙ උණහුමක්
ගෙවුනු එවන් දින දහසක්
ගෙනෙයි මතකයට මගෙ
අදත් මේ අඳුරු වැස්සේ...
දැල් හෝල් පිස හමන
කිතිකවන හීතලේ..
අඳුරු කොරිඩෝ කෙලවර හිඳිද්දී..

Wednesday, October 19, 2016

•ආයෙත් එනකල් 3

"අපෙ හුස්ම රැඳි අහස්කුස අද...  කඩා වැටිලා තරුත් එක්කම"



බිමට බර නුඹෙ නෙත් කෙවෙනි අග..
රැඳුනු බර කඳුලු බිඳු දෙක..
බලාගෙන බිම සිටිනවා දැක
හඬයි මාසිත මටත් නොදැනිම..

අපෙ හුස්ම රැඳි අහස්කුස අද..
වේදනාවක සුසුම් බරටම
කඩා වැටිලා තරුත් එක්කම
පේනවා මට දහ අටේ සිට..

යනව මම අද එනව යලි හෙට
නොවුනමුත් දුර කාලයක් එය
ගෙවෙන තත්පරත් කල්පවී ඇත
ඔබ මගෙන් හුඟ දුරක් ගෙන යන..

Tuesday, June 14, 2016

•රහසක්

"දළදා හාමුදුරුවනුත් සැතපී සිටි මොහොතක..."



නුවර වැවේ වැව රවුමේ
හඳ පායපු රෑ දවසක
ඇවිද ගියා මම
තනියම...

සීත සුළං හා මුහු උන
දිය රැළි මුමුණන රහසක්
මට ඇහුනා හීං හඬින්
ඉකි ගසමින් බිඳුනු හඬින්...

අනේ මගේ කිරි කැටියා
වංගෙඩියේ ලා කෙටුවා...
කිරිත් එක්ක ලේ මුහුවී
මගෙ ඇස් ලඟ බොඳවූවා

අනේ මගේ මද්දුමයා
අයියණ්ඩිත් අඬගහගෙන
ලේ ඉල්ලපු වඩිගයාට
හිස බිලි දුන්නා...

දළදා හාමුදුරුවනුත්
සැතපීලා උන් මොහොතක
උන් මාවත් සැඟවූවා
බෝගම්බර දිය රැළි යට...


Friday, May 27, 2016

•ආයෙත් එනකල් 2


"සීතල මකන්නට... ප්ලේන්ටියකට හැකිවේද.."




හුන්නස්ගිරියේ..
නුගේතැන්නට හැරෙන හංදියේ..
ඇටකටු පවා හිරිවට්ටන
සීතල සුළං  රැළ්..
සිහිකලා මට
ඔබේ උනුහුම..
මහමෙරකටත්
ටිකක් වැඩියෙන්...

Wednesday, May 25, 2016

•ආයෙත් එනකල්

"ආයෙත් දවසක ආපහු එනකල්... රෑ බස් එකේ දහඅටෙන් එනකොට.."




කවුලුවෙන් දුර එපිට පෙනෙන නිම්නයේ
සියදහසක් එළි අතර
පුංචි තරු ඇස් දෙකක් හැංගිලා..
ඒත් බැරි නෑ අඳුනගන්න මට
ඒ බොඳවූ තරු එළිය..
කඳුලු බිංදුවකින්..
ආයෙමත් දවසක එනකල්..
බලන් ඉන්න තරු ඇස් දෙක..
දහ අට වංගුව දිහා..


Thursday, April 28, 2016

•මිතුදම්


"නොමැත මිතුරන්.. මේ කටුක පොළොව මත..."



මිතුදම...
තවත් එක් බැඳීමක්
බැඳීමට අපහසු
දරන්නට අපහසු..
නොමැත මිතුරන්
අත ඇඟිලි තරමට
නොගනිමි ලෙහෙසියෙන්
අතැඟිලි'තර තවත් අතැඟිලි..
නමුත් සමහර අතැඟිලි
හැරයයි මිතුරුදම්..
පවසා අපට ගහන්නට අත්පොඩි..
තනි අතින්....
කොන්දේසි විරහිතව
බොහෝ දේ කැපකර
හදවතින් ගොඩනැඟූ
ඒ වගේ මිතුරුදම්
අද මඟැර යන විට
හැඟේනොමැත මිතුරන්..
මේ කටුක පොළොව මත...
හුදෙකලා ලොව තුල
ගොඩනැඟූ තනිකම
සම්පතකි..
කිසිදා
නොරිදවන සිත...



Monday, April 4, 2016

•මරණයක සැමරුම

"උඹේ අවුරුද්දෙ පිංකමට.."



සබඳ...
බක් මහේ දිනක පෙරදා..
උඹේ කඳුළැල් සෝ සුසුම් මැද..
උඹේ උණුසුම් කරමතින් මම
නොඑන ගමනක් ගියෙමි..

වර්ෂයක් ඉක්ම ගොස් ඇත..
ඔබ තවම දුකින් යැයි හිතුන හින්දාම
මම පැමිණියෙමි මීදුමක
බැහැදකින්නට ඔබ සැවොම
පිසලන්න ඔබෙ කඳුලු..

දුමාරය මැදින් මමදුටුව දේ ඇත්‍තක්ද..
පීඨෙ ක්‍රීඩා පිටිය සැණකෙළියක්ය එකම එක..
හෙණ හඬින් ගිගුම් දෙනරළු බේස් නද අතර නේකවිද ගී සින්දු

ඒ අතර රඟයි මා මිතුරු කැල කුල්මත්ව
එය ක්‍රිකට් උළෙලක්ලු
අණුස්මරණය කරන
ඔබ සැවොම දුක් වෙච්ච
මගේ මළගම දිනට..

සැබෑවක් විය නොහැක මෙය
මා දකින්නේ සිහිනයක්මය
නොහැක මගෙ මිතුකැලට
මගේ මරණය කරගන්න පොපියනා කෙළිබිමක්
විය නොහැක මෙය සැබෑවක්
මා දකින්නේ සිහිනයක්..

පැමිණ ඇත මා වැරදි තැනකට
මගේ විදු බිම නොවෙයි මේ
මගේ මිතුරන් නොවෙයි මේ..

ම'මිතුරන් කොහේ හෝ සිට
දන් දෙනව ඇති ලේ බිඳු
තබනවා ඇත බෝධි පූජා..
මගේ මා පියන් සමඟින්
පුද දෙනව ඇත බණද දානද..
පිං පිණිස..
නුඹව හැරගිය..
නුඹේ මිතුරා නමට....
දොළොස් මසක් ගෙවී ඇති තැන...


**************************************

නිමිත්ත : *********** ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ජ්‍යේෂ්ඨ සොහොයුරෙකු පසුගිය වසරේ අප්‍රේල් මස හදවත් රෝගයක් විසින් අපෙන් උදුරාගන්නා ලදි. ඔහු වෙන්ව ගොස් වසරක් පිරීම නිමිතිකොටගෙන දැනට පාසැල් පද්දතියට එකතුවී සිටින එම "ජ්‍යේෂ්ඨ" සොහොයුරන් විසින් "ක්‍රිකට් මැච් එකක්" සංවිධානය කොට පවත්වන ලදි!!!!!



Wednesday, October 7, 2015

•යථාර්තය


"ඒ තරු එලිය ලෝකය සනසන දාට..
මගේ කවිය දරුවනි නුඹ ගයනු ඇත.."






පැන මඩ කඩිති වැව් තාවලු නොදුටු ලෙසින්..
සුවඳක් නොමැති කුසුමකි ගුරු පාද පියුම්..
රතු තොල් උල් කරන් දොඩනා වහසි බැනුම්..
පංතිය කුලය පට්ටම තුල ගිලුණු නුවන්..

සීතල සිහින සුරපුරයක සිහින දැක..
දහදිය කඳුලු සුවඳට ඔරවමින් හිඳ..
කොටුවෙන් එපිට ඇති ලෝකය නොදුටු සඳ..
පට්ටම මතම හිඳගෙන උඹ සිටිනු මැන..

ගුරුවරු දුටිමි මේ වගෙ උන් නොම දුටිමි
සවරම් ලොවට අපි පොෂ් මදි දැන ගතිමි..
ගීයක් කතාවක් කවියක් විඳ නොමැති..
තොප ගැන දුකක් නැත දුක දරුවන් නමිනී..

කියවා බලව ගුරු ගීතය එක සැරයක්
රසවිඳ බලනු ගුරු තරුවක් එක සැරයක්
වන්නට නොහැකිනම් ගුරු තරු එළියක්
නික්මෙනු මැනවි ගුරු කුලයට දී අරුතක්..

පාවෙන ලොවක දකිනා සිල්ලර සිහින
නොදකින දිනෙක බිහිවෙයි ගුරු තරු නිබඳ
ඒ තරු එලිය ලෝකය සනසන දාට..
මගේ කවිය දරුවනි නුඹ ගයනු ඇත...

Friday, September 11, 2015

•දඹානේ "වැදි" ළමයි!


"අවරගිර කුලවතුන් සිටිද්දී නිරුවතින්... උන් හිඳියි විළි වසා සැතපුමක් ඉදිරියෙන්..."





මහියංගනය...
තවමත් හිතන උන් ඇත
එය අමුතු ලොවක් බව
මිහිමතින් දුර තිබෙන..

තවම කෙටේරිය කර මතය
තවම කොල අතු ඉණ වටය
තවම දුනු හී පිට මතය
තවම තලගොයි උරහිසය
යැයි සිතන උන අවරගිර හිඳ
බලයි හොටවල් උල් කරන්..
අසයි කටවල් බලි ඇරන්..

කෙටේරිය බිම තබා හුඟකලක් ඉක්ම ගොස්..
සිටින මුත් දඹානේ පොරමොලන්..
තවම දුනු හී අත දරාගත්
අවරගිර වැදි දනන්
විදියි අප හට වෙර අරන්..

සිතයි උන් දඹානේ කැලෑමල්
සිප් හලට එනබවක් මරාගෙන
තලගොයින්...
නැහැ එහේ මෙහෙ තරම්
සැර සුවඳ පියරු මල්..
ඇත හපුටු මල් කැකුලු
සුවඳ දෙන ජීවිතේ..

කෙල පැමිණි උගතුනේ
අසනු මැන මේ වගත්
මරාගෙන නොආවත් උන්
පාසලට තලගොයන්..
තිබූ මුත් ගොරහැඩිව
උන් අත්ල බෝ සෙයින්
ගල් තැලී ඇති නමුත්
දෙපායුග නිරුවතින්..
මහ පොළොවෙ පය ගසා
ඇත ඔවුන් දහිරියෙන්..

උන් නමට අපහාස
නගත් නුඹ මේ ලෙසින්
උන් දිහා වපරැහින්
බලත් නුඹ පිළිකුලෙන්
අවරගිර කුලවතුන් සිටිද්දී
නිරුවතින්...
උන් හිඳියි විලි වසා
සැතපුමක් ඉදිරියෙන්...

නිමිත්ත : මෑතදී හද පෑරු කථිකාචාර්ය දෙබසක්...

"Some students at the Dambana School bring roasted iguanas for their lunch..."

Thursday, July 16, 2015

•මුල් දින මතක

"අනාගත ගුරුවරුන්.. සිරගතව හිඳියි අද..."


හැමතැනම අයියලා
නමුත් ඒ මල්ලිලා
ඔවුන්ගේ ගර්ජන,
රැවුම් එරවුම් හමුවේ
බිම බලා සිටිනා
අනාගත ගුරු පැටවු...
සර්ලා මෙහෙමද?
ටීචර්ලා මෙහෙමද?
ඉස්කෝලවල මොවුන්
බකතපස් රකිනවද..?

පරිප්පු හා සම්බෝල
සම්බෝල හා පරිප්පු
කලණ මිතුරන් වෙලා
තුන් වේල ලඟ හිඳියි..

මදුරු රජදහනක් අසල
ගලා යන කුණු ඇලක් අසබඩ
"ඩෝම්" යැයි කියාගත්
බිං ගෙයකි හිසට වහලට..

කියන දේ අහන
ඇහෙන දේ කරන
අණ ලැබෙන තුරු කල් මරන
දැන්ම පිට කොඳු බිඳූ
අනාගත ගුරුවරුන්
සිරගතව හිඳියි අද...


Monday, June 29, 2015

•තනි තරුවේ

"ඈත අහසෙ පාලු කොනක
තනිව දිලෙන තනි තරුවේ..."



තනි තරුවේ...
තනි තරුවේ...
ඈත අහසෙ පාලු කොනක
තනිව දිලෙන තනි තරුවේ...
අන්සතු එලියෙන් බබලන
ලප කැළලින් අවලස්සන
චෞර රැජින සරා සඳට
නොදෙවෙනි මගෙ තනි තරුවේ...
ඔබෙ එලියෙන් දිදුලන
නෙත් සනහන රුවින් සපිරි
ආඩම්බර සඳට පවා
එළිය සදන තනි තරුවේ...
සඳක් වෙන්න හීන මවන
දහස් ගනන් තරු අතරේ
ජීවිතයේ බහ තේරුව
මහ පොලොවට පෙමින් බැඳුනු
අමරණීය තනි තරුවේ...

Friday, June 19, 2015

•සොඳුරු සැඳෑවක

"හැකිද ජීවිතය විඳින්නට..."



දුම්රියෙන් නැඟෙන හඬ තාලයට
සමුදුරෙන් හමන සැඩ සුළඟට
අතරමැද ඉඳන් පොල් ගහක් යට
හිස්වෙන ගල් බෝතලයකට
හැකිද ජීවිතය විඳින්නට...

•••••••••••••••••••••••••••••••••••••••••••••••

මොරටුව සිට කලුතරට මුහුදුබඩ දුම්රිය මඟෙහිදී...

Tuesday, April 28, 2015

•කොළොම්පුරේ

"අපුලයි.. අපුලයි.. අපුලයි..."




දසත නැඟෙන අජිනොමොටෝ රසකාරක
ෆ්‍රයිඩ් රයිස් සුවඳ...
ගලා හැලෙන උණුසුම..දහදිය..
ගින්දර...ගින්දර...ගින්දර...
ගිනිගහන රළු වැල්ල
පිළී ගඳ මඳ සුළං...
මුඩුක්කු වට කරගත් දෙව් විමන්
විදුලි ආලෝක සැනකෙළි
හෙන පුපුරු වන් බේස් නද...
මත් වතුර..
බමන නෙත්..
දසත විසිරුණු කුණු..
ගඳ ගසයි..
ගඳ ගසයි..
ගඳ ගසයි..
පෙලට පෙලට එකට යාව
අඳුරු බිං ගෙවල් වන් ලෑලි ගෙවල්..
දිවි ගෙවන මිනිසුන්.. ගැහැණුන්..
විසඳෙන ඉරණම්...
නගරෙ මැද නිශ්චලව
කොල පාට දිය පිරුණු
ගඳ ගහන දිය මං...
ඒ වටා මවන්නට වෙර දරන සුරපුරක්..
සුනිල දිය දහර
නොදුටු නෙත් රවටන්න
අපුල දිය දහර වෙර දරන තරමක්...
දුගී බව මැද මැවුනු සුරවිමන්..
අපුලයි...
අපුලයි...
අපුලයි...
කොළොම්පුරේ....

Sunday, April 5, 2015

•සොහොයුරේ..

"නුඹේ නාමෙන් තවත් රතු මල්.. දෙරණ සුපිපෙයි දහස් ගනනින්..."
මේඝ ගර්ජනා අසෙනි වැසි වැටුණු
අනන්තවූ අඳුරු රැයක
නිමා නොවන ගන අන්ධකාරය
නිමා කොට නව දිනෙක අරුණැල්
මිහිකතට උදාකර..
නැවුම් දිදුලන නව දිනක් ගැන
සුබ සිහිනදුටු
සොහොයුරේ...
නුඹෙ සිහිනයට බියගෙන
සිහින දුටු සිත
සිහින දුටු නෙත
සිහින දුටු ගත..
දෙතිස් වදයට පමුණුවා
නිහඬ කල මුත් උන්
නුඹේ හඬ..
උන්ගෙ අවියට
උන්ගෙ සවියට
නොහැකි විය නසන්නට
නුඹේ සිහිනය...
රටක් වෙනුවෙන්
හෙටක් වෙනුවෙන්
නුඹ එදා දුටු සොඳුරු සිහිනය
සැබෑ වෙන තුරු
උදා වෙන තුරු..
නුඹේ නාමෙන් තවත්
රතු මල්..
දෙරණ සුපිපෙයි
දහස් ගනනින්...
•44 වැනි අප්‍රේල් විරු සමරුව වෙනුවෙනි...

Sunday, March 29, 2015

•හොඳින්, බැරිනම් නරකින්..


"නුඹට හැකිවෙද.. සුදු නෙලුමක් වී පිපෙන්න..."

මිනී කන කැනිබලුන්
පිරී ඇති නිම්නයක
නුඹව අතහැර ගොසින්..

ලේ ගඳට ඉව කරන
දත් සපන..බුරන..
ගොරවන...
උන්ගෙ මුඛයෙන් නැඟෙන
කුණු මිනී ගඳ පරයන්
නුඹට හැකිවෙද
සුදු නෙලුමක් වී
පිපෙන්න...

වරක් හැකිදැයි බලන්න
තව වරක් හැකිදැයි බලන්න..
නොහැකිනම් ගඳ පරයන්න
නොවී උන්ගෙන් එකෙක්
නොවී තව කැනිබලෙක්..
මරාගෙන මියයනු
සබඳ නුඹ..
සිංහයෙක් වී
දෙරණ සොලවන...

Sunday, March 22, 2015

•වැහි ලිහිණියනේ

"දුක් කඳුලු හැඟුම් දුරුකර මොහොතක අපෙ පැතුම් අරන් නුඹ පියාසලන්..."

වැහි ලිහිණියනේ විදු බිමට උඩින්
වැහි කඳුලු මැදින් දුර පියාසලන්
පෙම් සිතක පැතුම් දුර ඈත ඉඳන්
ගොස් රැගෙන එන්න හැකිවෙයිද ඉතින්..

නුහුරු රටේ මම තනිව හිඳිම්
පුරුදු රටේ ඈ සුසුම් මැදින්
දුක් කඳුලු හැඟුම් දුරුකර මොහොතින්
අපෙ පැතුම් අරන් නුඹ පියාසලන්..

මේ සිරිපොද මැද අප ගියපු ගමන්
සිහිකරන් හිඳිම් නුඹ ගොසින් වරෙන්
වැහි අඳුර මැදින් ඇගෙ සුසුම් පවන්
සැනසුම් බිඳුවක් නුඹ අරන් වරෙන්..

Monday, March 16, 2015

• සිහිනයක්..

අඬගසයි මට අඬගසයි.. ගිම්හානයක සිට අඬගසයි...

ගිනි හුලන් හමා යන
මද්දහන ගිනි ගහන..
සියඹලා මැයි මාර
වදුලකින් සෙවන උන..
තක්සලා මාවතක්
සිහිනයක ඇඳ තිබේ..

දුෂ්කරම පාසලක
අහිංසක මල් කැකුලු..
පංතියක කොට බිත්තියෙන්
එබි එබී බලනයුරු..
නොදුටු ලෝකයක අරුමැසි..
මැවි මැවී නෙත් පුරා
පුබුදවයි මගේ හද..
දිනක් එනු ඇත
මමද එහි යන..

ගඩා ගෙඩි සියඹලා
අඹ දිවුල් වැල වරකා..
දහදියට එකතු වූ
ඒ කැලෑ මල් වලින්..
හමා එන සුවඳකැන්..
හද පුරා විඳගන්න
පාරමී පුරමි මම..

බොර පාට කමිසයයි
ඉරුණු නිල් කලිසමයි..
ගොවි බිමේ උදැල්ලෙන්
තිලිණ ලද කරගැටයි..
මහ පොලොවෙ පය ගැටී
ගල් තැලුණු පා යුගයි..
හා එක්ව එකට යන
අව්‍යාජ නුඹෙ සිතයි..
අඬගසයි මට අඬගසයි..
ගිම්හානයක සිට අඬගසයි...

ඉඩ හසර ලද ඉසිඹුවක.. කඩිසර ජංගමයෙන් අසීරුවෙන්.. නුහුරු කවි බසක පෙරහුරුව..



Saturday, January 10, 2015

•යුගයක ඇරඹුම


"අප පතන නායකයා ඔබම වේ නම්..."






සියල්ලම සිතූ පරිදිම පැතූ පරිදිම සිදුව ඇත. ඉල්ලූ වෙනස රටට ලැබී ඇත. සියල්ලෙහිම "පර්ෆෙක්ට්" ගතියක් සිතට දැනෙමින් ඇත. අවසානයේ මෛත්‍රී යුගයක උදාව සිදු වුනි.

පෙරදින උදෑසනින්ම සිදු වූ සංවේදී සිදුවීමෙන් ඇරඹුමක් ගන්නට අවසර පතමි. ඒ හිටපු ජනපති, ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ අරලියගහ මැදුරෙන් නික්ම යාමයි. ඔහු තුල නොමැති වූ නමුදු තවම අප තුල පවතින මනුෂ්‍යත්වයේ නාමයෙන් සංවේදී සිත් ඇත්තවුන් වන අප වැනි පොදු ජන හදවත් මොහොතකට සංවේගයට පත් කිරීමට එම සිදුවීම සමත් වුනි.

2010න් පසු උග්‍ර මහින්ද විරෝධියකු වූ, මගේ අපමණ පිළිකුලට බඳුවූ එම සොඳුරු ඒකාධිපතියාගෙ නික්ම යාම, දුක සතුට මිශ්‍ර වූ කඳුලු තුඩක් දෙනෙතට නැංවූ සිදුවීමක් බව ඔබට කියන්නට මම ලජ්ජා නොවෙමි. "අනේ මේ මනුස්සයා කරගත්ත දෙයක්.." එහෙමයි මට නිතරම හිතුනෙ. ඒක මේ දැනුත් හිතෙනවා. නමුත් ඒ සමඟම සිතුවම් පටක් මෙන් ඇදී යන ඔහුගේ "කෙරුවාව" සිහි වන විට දෙපතුල් වල සිට ඉහලට ලෝහිත ගිණියමක් සිරුරට දැනෙනුයේ කඳුලු වියළි කරමිනි. අද ඔහුට එලෙස බැස යාමට තරම් හෝ නිදහසක් උරුමව තිබුනා. ඔහු වෙනුවෙන් සියල්ලෝම ඔහුට ගෞරව කලා. නමුදු බැරිවීමකින් හෝ අද දිනුවේ මහින්ද රාජපක්ෂ නම් මෛත්‍රීට මෙලෙස සරලව පොළොන්නරුවට යා හැකිවෙයිද? සැකයක් නෑ, එහෙනම් මෛත්‍රීටද අවම වසර දෙකකටවත් නොකල වරදකට සිරබත් කෑමට සිදුව්න බව නිසැකයි. 2010 දි සරත් ෆොන්සේකා සෙන්පති තුමන්ට අත්වූ ඉරණම අප දුටුවෙමු. යුදගිනිදැල් නිවූ එතුමාට අවසානයේ රාජකාරි ජීවිතයෙන් ඔහු උපයාගත් සොල්දාදුවෙකු දෙවි දෙවෙනි කොට පෙම් බඳින තමන්ගේ නිළ තනතුරුද අහිමි වීම, දශක ගණනක හමුදා සේවය වෙනුවෙන් ඔහුගේ පෙන්ෂන් එකද අහිමි කලයුරු සිහිකල විට සිතට දැනෙන අපමණ කලකිරීම විස්තර කල නොහැකිය.

නමුදු මෛත්‍රී පාලනයක් තුල හිටපු ජනපතිඳුන්ට කිසිදු හිරිහැරයකින් තොරව හෙලිකොප්ටරයක නැඟී තම මුල් නිවස වූ මැදමුලනට යාමට අවකාශ සැලසිණි. හිතට ඇති කණගාටුවනම් ඔහු එලෙස නික්ම ගියේ යුද්ධය ඉවර කල ශ්‍රේෂ්ඨ, අති ගෞරවනීය, අසහාය, අපරාජිත නායකයකු ලෙස නොව, සිය රටේ ජනතාව අතින් ප්‍රතික්ශේප වූ පරාජිතයකු ලෙස වීමයි. මේ තත්වයට පත් නොවී සියලු ගෞරව සහිතව පෙරහරක පා පලස් උඩු වියන් මතින් මල් වැසි මුතු කුඩ යටින් ඔහුට මැදමුලනට යාමට හැකියාව තිබුනි. නමෞදු බලයෙන් අන්ධ වූ බල කාමයෙන් පිස්සු වැටුනු ඔහුට එය නොතේරුණු අයුරු... 

අවසාන මොහොතේ එතුමා හිතට වදින කතාවක් කලා. තමන් ජනමතයට හිස නවා නික්ම යනබව පැවසුවා. ඒ අවස්ථාවේ ඔහු කීව එදා දෙදස් නවයේදී මං වෙනුවෙන් එසවුණු අත් අද මට විරුද්ධව එසවිලා කියලා. නමුත් එතුමා තේරුම්ගත යුතු වූ දේ නම් ඒ අත් ඔහුට එරෙහිව එසවූයේ, ඔහුගේ අසීමාන්තික ඒකාධිපතිත්වයට එරෙහිව බව. එතුමාට තිබුනා හොඳ අවස්ථාවක්, එතුමාට තිබුනා නම්බුකාර විදියට ධූරයේ වලංගු වාර දෙක ගත කල පසු තම පක්ෂයේම් වෙනත් අයෙකු නම් කර එතුමාගෙ කාර්‍ය නිමකර බැස යාමට. එසේත් නොමැතිනම් මෙවරම සංධානයේ අපේක්ෂකයා ලෙස වෙනත් අයෙකු ඉදිරිපත් කිරීමට. ඒ මෛත්‍රීම වුවත්, ඔහුට දිනීමේ හැකියාව තිබුනා.

එය එසේ වූවානම් යුග මෙහෙවරක් කල ශ්‍රෙෂ්ඨ පුත්‍රයකු ලෙස ඔහුට සමුගැනීමට හැකියාව තිබුනි. නමුද් සදාකල් බලයේ සිටීමට සිහින මැවූ ඔහුගේ එක් පුද්ගල සිහිනය ඔහුටත් ඔහුගේ පවුලටත්, ඒ වටා සිටි කල්ලියටත් යන සියල්ලන්ටම විනාශය ගෙන එන ලදි. මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම දේශපාලන පාඩම වූයේ එයයි. අවි ගත්තෝ අවියෙන්ම නැසෙන්නා සේ බල කාමයෙන් උන්මන්තක වූ ඔහුත් ඔහුගේ පවුලත් බලය විසින්ම විනාශකර දමන ලදි. ඔහුගේ අමාත්‍යමණ්ඩලයටම විනාශයා උදා කරන ලදි. ලංකා ඉතිහාසයේ ශ්‍රෙෂ්ඨතම ජනාධිපතිවරයා ජනතාව අතින් ප්‍රතික්ෂේප වූ ප්‍රථම පරාජිත ජනාධිපතිවරයාඅ බවට පත් විය.

තවමත් සිහින ලොවින් අවධි නොවූ උන්මම්තකයින්ගේ නවතම වාචාලය වන්නේ මෛත්‍රීට හිමි වූයේ "දෙමළ ඡන්ද" බවයි. නො එසේනම් "මුස්ලිම් ඡන්ද" බවයි. එලෙස හණ කෙටූ වෙනම ඡන්ද කොටසක් එකම රටක පැවතිය හැකිද? එසේම ඒද මේ රටේ පුරවැසිභාවය ලබන සියලු අයිතිවාසිකම් හිමි මේ රටේ ඡන්ද දායකයන් නොවන්නේද. එලෙස නිදහසක් නොමැතිනම් මහින්ද රාජපක්ෂ මේ රටට උදා කල සාමය හිතලුවක්ද. මෙම කාරණා වලට ඊයේ රාත්‍රියේ ජාතික නාලිකාවෙන් විකාශය වූ "සුළඟට පසු" සංවාදයට එක්වූ අතුරලියේ රතන හිමි කදිම පැහැදිලි කිරීමක් කලෝය.

ගලේ පැහැරූ බළලාට සිදු වූ දෙය සිදුවූ ජාතික නාලිකාවේ පසු තැවීම, කලකිරීම එම වැඩසටහනේ පමණක් නොව, ඊයේ පෙරවරුවේ සිටම මනාව දක්නට ලැබුනි. කෙසේ වුවද දියයට සැඟවූ රබර් බෝල මෙන් අදිසි හස්තයන්හි තෙරපුමට හසුව ගිලී සිටි රාජ්‍ය මාධ්‍ය ආයතන දිය දෙබෑ කරමින් ඒ ඉහළට එසවුනේ එහෙයිනි. "සුළඟට පසුව" එහි ප්‍රතිඵලයකි. තම නාලිකාව පසු ගිය ජනපතිවරණයේත්, ඉට පෙරත් සිදු කල ඒ නොකල යුත්ත පිළිබඳ කණගාටු වන ඔවුහු ඉදිරියේදී උදාවූ යහපාලනය තුල වඩාත් සමබර මාධ්‍යකරණයක නියැලීමට ප්‍රතිඥා දීමද පැසසිය යුත්තකි. මෛත්‍රී යුගයක් උදාකල යුත්තේ මේ සියලු දෙනාටමය.

සංධාන ආණ්ඩුවේ ජීවනාලිය වූයේ මෛත්‍රීපාල බව දැන් දැන් හෙලිවෙමින් පවතී. දිවි නැගුම, රජයේ පොහොර සහනාධාරය, වී සඳහා සහතික මිලක් ලබා දීම, වී අලෙවි මණ්ඩලය රැක ගැනීම, වැනි කෘෂිකර්ම ඇමතිවරයා ලෙස ඔහුගේ කාර්‍යන්ද, සෞඛ්‍ය ඇමතිවරයා ලෙස, දුම්වැටි සඳහා රූපමය අවවාධ ගෙන ආ පනත සේම ඔහු නියෝජනය කල ආණ්ඩුවෙන්ම අතුරුදන් කල සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට පණ දීමේ කෙටුම්පත් යෝජනාවද රට වෙනුවෙන් ඔහුගේ කැපවීම සපථ කරන්නකි.

\\මචන්, අපි අපේ යුතුකම ඉටු කරා. මහින්ද කියන හොරා අද පරදිනවා කතා දෙකක්
නෑ!! ඒත් මට උඹට කියන්න පොඩි කතාවක් තියෙනවා.

මචන් මේ දැන් මට අපේ ගෙවල් ලගම දෙන්නෙක්ගෙ කතාවක් ඇහුනා. පුළුවන්නම් උඹ
ඡන්ද රිසාල්ට් ආවම පෝස්ට් එකක් දානව නම් ඒකත් දාපන්. (උඹ පහුගිය ටිකේ
ලිවුවෙත් නෑනෙ)

මූ මචං බෙහෙත් ගෙන්නන ප්‍රයිවට් කම්පැණියක වැඩ, මුගෙ අම්මල තාත්තලා මෛතීට
සපෝට් කලේ ඒත් මූ පහු ගිය කාලෙම පුදුම තරම් මරාට කඩේ ගියා. කොටින්ම අද
තාත්තටයි අම්මටයි බලම කරලා මරාට චන්දෙ දාන්න.

දැන් ටිකකට කලින් මූ තව එකෙක් එක්ක කතාව මට ගෙදට්ට ඇහෙනවා.
"අර කාළකණ්නියා ආවොත් අපි ඉවරයි බං. ඒ  !@@##@! පුතා අර සෞඛ්‍ය පනත එළියට
දාපු ගමන් අපිටයි කෙළවෙන්නෙ. ඌ කියන විදිහට අඩු ලාභ තියාන් කොහොමද බං මේ
බිස්නස් රන් කරන්නෙ? මහින්ද නොදින්නොත් කෙළියා තමා! මෛත්‍රී හදන්නෙ අපිට
කෙළින්න" ඔන්න මචන් සාමාන්‍ය මධ්‍යම පාංතිකයෙකුගෙ කාළකණ්නි චින්තනය.

මුන් මේ කෙළින්න යන්නෙ රටේ අහිංසක දුප්පත් නැති බැරි මිනිහට තියෙන නිදහස්
සෞඛ්‍ය සේවාවට නෙමේද බං????   ඇයි බං මේ අසාධාරණේ? මෙතනදි විතරක් නෙමේ
හැම තැනදිම මෙහෙමයි!

උන් හොරු බව දැන දැනත් තමන්ගෙ වාසියට ඇයි බං මෙහෙම් කරන්නෙ?????

මට නම් කළකිරුණා බං!!

මම හිතන් හිටියෙ තරුණ පරම්පරාව හො‍ර කමට විරුද්දයි කියලා. ඒත්?????????//

මා මේ උපුටා දැක්වූයේ ඔබේත් මගේත් සමීපහම බ්ලොග් හිතවතෙකු මා හට එවා තිබූ ඊමේල් පණිවුඩයකි. එය එලෙසින්ම මෙතනින් සනිටුහන් කලේ මෙම සිදුවීම ඔහුගේම වචන වලින් ඔබ හමුවට කීම ඔබට මෙය වටහා ගැනීමට පහසුවක් වන හෙයිනි. මේ පවසන්නේද සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳවමය. ඉතින් මෙවන නරුමයන් සිටින සමාජයක් තුල, අප ජීවත් වන අපේ පංතියේම සිටින මෙවන් කාලකණ්නින් සමඟ මෛත්‍රී යුගයකට අපේ මවුබිම රැගෙන යාම හිතන තරම් සරල සුන්දර පහසු කටයුත්තක් නම් නොවනු ඇත. නමුත් මා තරයේ විශ්වාස කරනුයේ මුල හොඳනම් ගහ හැදෙනු ඇති බවය. රටේ නායකයාගෙන් සියල්ල පටන්ගත යුතුය. අපි මෛත්‍රී විශ්වාස කරන්නෙමු. ඒ විශ්වාසය රැකීම ඔහුගේ කාර්‍යයි. එසේ නොවුන හොත් මහින්දගේ ඉඅරණමම ඔහුටද අත්වනු ඇත. මේ ගමන මේ කියන ආකාරයෙන්ම යන්නේ නම්, බොහෝ දෙනෙකුට රිදෙනු ඇත, බොහෝ දෙනෙකුට දැනෙනු ඇත, බහුතරයක් කුලප්පු වනු ඇත. නමුදු මහජනයා හට තමන් "ජීවත් වනවා" බව දැනෙනු ඇත. මෙතෙක් කල් තිරිසනුන් සේ දුක්ඛිතව ජීවත්ව හුරු වූ මේ රටේ අහිංසක ජනතාවට සැබෑවටම මිනිසුන් සේ ජීවත් වන්නේ කෙසේදැයි හැඟෙනු ඇත. කල්පිත අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ නොව භීෂිත දේශීය කුමන්ත්‍රණ කරලියේ රඟනු ඇත. එනිසා අප මහජනාය්ගේ යුතුකම ඉටුකරලියයුතුය.


කෙසේ හෝ අවසානයේ රට අවශ්‍ය වෙනස ලැබුනි. නමුදු මේ ජයගත්තේ තරඟයේ මුල් අදියර පමණි. වඩා බාධක සහිත දුෂ්කරම වූ අසීරුතම වූ කොටස ඉදිරියෙන් තවමත් ඉතිරිව ඇත. එනම් රටට අවැසි වෙනස, වෙනස් කල පුද්ගලයා ලවා සපුරාගැනීමයි. එනිසා අප සතු යුතුකම වගකීම දෙගුණව අද සිට ඇරඹෙනු ඇත. දිනූ ජයග්‍රහණයේ මිහිර දේශයට අත්කල යුතුව ඇත. මෛත්‍රීගේ වචනයනම් මිහිරිය. පෙනුමෙන් අවංකය, නමුත් ක්‍රියාවෙන් එය ඔප්පු කරන තුරු සටන අත්හැරිය නොහැකිය. කෙසේ වුවද නහයෙන් උඩට ගිලී සිටි අප දැන් යළිදු නහයෙන් හුස්ම ගැනීමට තවත් අවස්ථාවක් උදා වී ඇත. මෙවර එම අවස්ථාවෙන් උපරිම ඵල නෙළාගත යුතුය. තව දුරටත්, දෙමළ ඡන්දය, මුස්ලිම් ඡන්දය යනාදී වශයෙන් ජාතිවාදී ප්‍රවාහයකට නොගොස් යුද්ධය නිමකල රටක සාමය ඇතිකිරීමට බැඳි සර්ව ජන දම්වැලෙන් දිවයිනම වටකල යුතු කාලය එළඹ ඇත. ජාතීන් අතර සමඟිය යළිදු 83න් ඔබ්බට කෙලෙස හෝ රැගෙන යා යුතුය. එක රටක්, එක ජාතිකත්වයක්, එකම ධජයක් යට අප සියල්ලන්ටම එකට සිටගැනීමට හැකිවේවායි දයාබර පැතුමක් අධිෂ්ඨානයක් ගොඩනඟමු!


එමෙන්ම මෙම ජනාධිපතිවරණයෙන් දුටු විශේෂිතම කරුණක් නම්, තවමත් පිටකොන්දක් සහිත රාජ්‍ය නිළධාරීන් අප හට ඉතිරිව ඇති බවය. මැතිවරණ කොමසාරිස්තුමන් ඉන් එක් අයෙකි. ලබා දුන් මේ ජයග්‍රහණය වෙනුවෙන් අපි එතුමන්ට ශීර්ෂ ප්‍රණාමයෙන් ගෞරවයෙන් ආචාරකල යුතුය. ඒ කෙසේ වෙතත්, අධික ලෙස ප්‍රමාද වූ මැතිවරණ ප්‍රතිඵලයත්, ආසන 160න් 58ක් පමණක් නුකුත් වූ මොහොතක හිටපු ජනපති ගත් තීරණයත් අතර වූ කතාව මෛත්‍රී පාලනයක් යටතේ එතුමන් හෙලිකරනු ඇතැයි අපි හුදෙක්ම බලපොරොත්තුවන්නෙමු.

තවද, ඇරඹුමේදීම අපට වෙනසක් පෙන්වූ මෛත්‍රීපාල ජනපතිතුමන්ගේ චාම් දිවුරුම් දීමේ උළෙලේ ආදර්ශය සමඟින් ඉදිරියම මෙම ගමන මෙලෙසින් යනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු..

ඒ සමඟම සියල්ලට පෙර දැකීමට, අත් විඳීමට මා පෙරුම්පුරණා දෙයක් වේ. එනම් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අහිමි කල ඒ නිසි ගෞරවය, යළි එතුමන්ට අත්කර දීමත්, නිර්ලජ්ජිත දේශපාලන පලිගැනීමකට ලක් කල ශිරාණි බණ්ඩාරනායක මැතිණියගේ තනතුර ඇයට යලි ලබා දීමත්ය.

එසේනම් මෛත්‍රී පාලනයකට ජය පතමු.
මහ මැතිවරණයේ මගේ ඡන්දයකියූ ඒ පාලනය ජනතාව උදෙසා ලබා ගැනීම වෙනුවෙනි...


කවදා පායද්ද අප දිනිසුරාණෝ 
රණ බිමකට සරිලන සෙනෙවියාණෝ 
මුඩු බිමකට සරිලන ජල කඳාණෝ 
සුන් බුන් කොඳු ඇට සිටුවන රජාණෝ 

කවදා පායත්ද අප පුන් සඳාණෝ 
පර හිත පිණිස දළදන් දෙන ඇතාණෝ 
නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ 
මුසා බසින් අප නොපෙළන රජාණෝ.... 

කවදා එත්ද අපගේ එක් වෙතාණෝ 
ගිමනට හෙවණ දෙන තුඟු නුග තුරාණෝ 
අප සමබිමක රඳවන සොහොයුරාණෝ.. 
රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ!!

පද : සුනිල් ආරියරත්න
සංගීතය : සරත් දසනායක

ගායනය : නන්දා මාලිනී





Monday, November 24, 2014

•හැරවුම් ලක්ෂ්‍යය

"පොදු අපේක්ෂකයා, එජාපය සහ ජවිපෙ හැරවුම් ලක්ෂ්‍යය..."




කොහොමත් පවත්වන්නට යෙදී තිබුනු ජනාධිපතිවරණය නීතියෙන් හෝ අවනීතියෙන් ප්‍රකාශයට පත්විය. ඒත් එක්කම ආණ්ඩුව අතිශය භීතියට පත්ව සිටි නමුත් රටට විහිළුවක් සේ පෙන්වීමට තැත්කල පොදු අපේක්ෂකයාද කරලියට අවේය. ඒ ආණ්ඩුවේ තිබූ භීතිය දෙතුන් ගුණයකින් වැඩි කරමිනි. ආණ්ඩුවේ භීතිය කෙතරම්ද යන්න පසුගියදා සුසිල් ප්‍රේමජයන්ත, "ගිය කට්ටියට තාමත් ආපසු එන්න අවස්ථාව තියනවා" යැයි කීව ප්‍රකාශයෙන් පැහැදිලි වේ. ඒ ප්‍රවිශ්ඨයයි. සංවේදනාවකින් බැහැරව මෙය ලිවීමට තීරණය කලෙමි.

මේ ජනාධිපතිවරණයේදී ජවිපෙ මුල සිටම සිටියේ මෙය නීත්‍යානුකූල නොවන මැතිවරණයක් යන මතයේය. ඒ නිසාම ඔවුන් මෙය වැලැක්වීමට දැඩි උත්සාහයක් ගන්නා ලදි. නමුත් නඩුත් බඩුත් අධිකරණයත් අතේ තියෙන කෙළි බඩුවක් කරගත් ඒකාධිපතියෙකු හමුවේ නීතියක පිළිසරණක් බලාපොරොත්තුවිය නොහැකි රටක ජවිපෙ වුවද මේ අරගලය කරන්නට ඇත්තේ අවසන් තීන්දුව දැනගෙනම විය යුතුය.

මක් නිසාද යත් සෑම මාධ්‍ය සාකච්ඡාවක්දීම පුනපුනාම මේ ජනාධිපතිවරණය නීති විරෝධීයි කිවා මිසක තම අපේක්ෂකයකු හෝ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා හෝ නොකරනවා යන්න පැවසුවේ නැත. හේතුව එය විය හැක. කෙසේ හෝ දැන් පොදු අපේක්ශකයකු ඉදිරිපත්ව ඇත. තවදුරටත් කවුරු කෙතරම් හඬ නැඟුවද ජනාධිපතිවරණය අකුලා ගන්නේ නොමැත. කාටත් ප්‍රශ්නයක් වූයේ දැන් ජවිපෙ තීරණය කුමක්ද යන්නයි. පළමුව මා සිතුවේ ජවිපෙ පොදු අපේක්ෂකයාට සහය නොදෙනු ඇතැයි කියාය. නමුත් පවතින තත්වය වඩා ප්‍රායෝගිකව සලකා බැලීමේ දී පොදු අපේක්ෂකයාට සහය දැක්වීම වඩා කාලෝචිත බව හැඟී යයි. ඒ පිළිබඳව අවසන් තීරණය ජවිපෙ අද(24) ලබා දෙන බව ප්‍රකාශයට පත් කොට ඇත. එය බොහෝ දුරට ජවිපෙ පොදු අපේක්ෂකයාට සහය දක්වන බවට වන තීරණයක් වනු ඇත.

එය එසේ වුවහොත් මෙම තීරණය පිළිබඳ බොහෝ පැසසුම්ද, බොහෝ ගැරහුමද, විවේචනද, මැදිහත් මතද පළවනු ඇත. මෙහිදී පුද්ගලිකව මගේ මතය මෙලෙස ඉදිරිපත් කරන්නම්.

01. ජවිපෙ සහය මෛත්‍රී ඇතුලු යූ එන් පී ප්‍රමුඛ පොදු විපක්ෂයට ලබා දීමට බොහෝ ඉඩකඩ ඇති බවට කනින් කොනින් ආරංචි පැමිණෙන විටම මගේ මව පැවසූයේ "88-89 මරල දාපු අහිංසක කොල්ලො මිනී වලේ ඉඳන් සාප කරනවා මුං යූ එන් පී එකට එකතු වුනොත් නම්" කියලයි. ජවිපෙ බොහෝ දෙනෙකු මෙම මතයේම සිටිති. එනිසාම ජවිපෙට පක්ෂ බොහෝ ජනයා මෙවර ජවිපෙ වෙනුවෙන් ඡන්දයක් පාවිච්චි නොකරනු ඇත. මගේ පියා ඇතුලු සමීපව ඇසුරු කරන කිහිප දෙනෙකුම මේ බව දැන්ම තීරණය කොට ඇත. නමුත් වටහාගතයුතු ප්‍රායෝගික සත්‍යනම් අප අතීතයෙන් පාඩම් උගෙන ගත යුතු මුත් අප අතීතයේ ජීවත් නොවිය යුතු බවයි. ගෙවුන අතීතයේ සිදු වූ දේවල් කිසිසේත් සමාව දිය හැකි හෝ දිය යුතු දේවල් නොවේ. එසේ සිතන විට තම ආදර්ණීය සහෘදයන් හට දෙතිස් වදය දෙමින් අමු අමුවේ මරා දැමූ යූ එන් පී කාරයින්ගේ මුහුණ බැලීමටවත් හැඟීමක් ඇති නොවීම සර්ව සාධාරණය. නමුත් ඒ හදවතට පමණක්ම ඉඩ දුන් විටයි. නමුදු වගකිව යුතු පරිණත දේශපාලන ව්‍යාපාරයක් ලෙස එලෙසින් හදවතට, හැඟීම් වලට වහල් වී තීරණ ගැනීම කිසිසේත්ම කල නොහැකි දෙයකි. අනෙක් අතට, ඔවුන් එදා මියැදුණේ, සටන් කලේ යූ එන් පීය සමඟ නොව පවත්නා ක්‍රමයට එරෙහිවය. එසේ නොමැතිව යූ එන් පීය සමඟ හෝ එහි නායකයින් සමඟ පුද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීමට ඔවුන් අවි ගැටුවේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ යහපත් රටකි. යුක්ති ගරුක රටකි. සාධාරණ සමාජයකි. සැමට මිනිසුන් සේ ජීවත්ව මිනිසුන් සේ මිය යා හැකි දේශයකි. ඉතින් අතීතයේ ඒ සඳහා විවිධ ක්‍රමවේදයන්, උපාය, උපක්‍රමයන් සටන් මෙහෙය වීය. එමෙන්ම වර්ථමානයේද ඒ අයුරින්ම උපාය උපක්‍රම, තීන්දු තීරණ ගනිමින් පවතී. එහිදී වටහාගත යුතු සත්‍ය නම් ක්‍රමය කුමක් වුවද, එදා මෙන්ම අදද අරමුණ එකක්ම වීමයි. එනිසා මිය ගිය සොයුරන් ඒ අරමුණ වෙනුවෙන් එලොව සිට හෝ ආශිර්වාද කරනු ඇත. මෙම කාරණය සටහන් කලේ ඒ පිලිබඳ දෙගිඩියාවෙන් සිටින්නවුන් වෙනුවෙනි.


02.මේ අවස්ථාවේදී අවශ්‍යනම් ජවිපෙට කිසිදු අපේක්ෂකයකුට සහය නොදී පසෙක සිට බලා සිටීමට හැකිය. මෙය නීති විරෝධී ජනාධිපතිවරණයක්ය යන මතයේ ඔවුන් සිටින හෙයින් මෙය වර්ජනය කල හැකිය. නමුදු එය තරමක අවධානමක් සේ මට හැඟෙයි. මක් නිසාද යත්, මෙම සටනින් මෛත්‍රී ජයගෙන මීළඟට නව ආණ්ඩුවක් පිහිට වුව හොත් එය යූ එන් පීය ප්‍රමුඛ ආණ්ඩුවකි. එනම් අගමැති වනුයේ පවසන ලෙසින්ම රනිල්ය. යූ එන් පීය යනු ස්ව්භාවයෙන්ම බලය අභිමුව බලයෙන් අන්ධව බල කාමීව පිස්සු බලු රෑනක් විලසින් හැසිරෙන පිරිසකි. එය ඔවුන් ඔවුන්ගේ දේශපාලන ඉතිහාසය තුලින් යළි යළිත් ඔප්පු කොට ඇති කාරණයකි. යූ එන් පී ආණ්ඩු පිහිට වූ සෑම විටකම බැට කෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සහ අනෙකුත් දේශපාලන පක්ෂ වල පාක්ෂිකයන් මේ සඳහා සාක්ෂි දෙනු ඇත. 77 ජේ.ආර් දිනූ විට අපේ රට මේ කුරිරු අත්දැකීමට දරුණුව මුහුණ දුන් බව ඔබ සැම දන්නා කාරණයකි. එදා තිස්සපුරින් ගිය නිදහස් පාක්ෂිකයන් වූ මගේ පියාගේ ඥාතීන් ඒ ගිය ගැම්මෙන් තවමත් බදුල්ලට වී සිටිති. ඒදා ඔවුන්ගේ මෙන්ම මේ රටේ අහිංසක ගොවිජනයාගේ, කතිරයක් පමණක් ගැසූ ගොවි ජනයාගේ පැසී අස්වනු නෙලීමට තිබූ කුඹුර අක්කර සියගනනින් මොවුන් ගිනිබත් කලෝය. ගෙවල් දොරවල් අලු දූවිලි බවට පත් කලෝය. මා ඉහත කී පියාගේ ඥාතීන් සිය නිවසේ සුරතලයට ඇතිකල මුව පොව්වන් දෙදෙනෙකු ඇස් ඉදිරිපිට මරා මස් කල අයුරු ඒ මහල්ලා අදටත් සිහිපත් කරනුයේ කඳුලු පිරි දෙනෙතිනි. එවන් අපකීර්තිමත් දේශපාලන ඉතිහාසයක් ඇති යූ එන් පීය මෙවරද ජයගත හොත් මෙවැනි තත්වයක් ඇති වීමට ඇති ඉඩකඩ බෙහෙවින්ම වැඩිය. එවන් වාතාවරණයක් තුල ජවීපේ මෙවර සහය නොදී සිටිනවාට වඩා සහය දී ආණ්ඩුව ඇතුලේ සිටීම ජවිපේ පැවැත්මට හිතකරය. එය පුහු නිර්භීතකම් පෑමට වඩා දේශපාලනික වශයෙන් බුද්ධිමත් එමෙන්ම කපටි තීරණයකි. යහපත වෙනුවෙන් කපටිකම් කලාට පවු සිදුවන්නේ නැත. ක්‍රියාදාමයෙන් ඉවත්ම දෙපසටම විරුද්ධව කටයුතු කිරීමෙන් ජවිපෙ බලවත් හතුරෙකු නිර්මාණය කරගත හැකිය. නීතියක්, යුක්තියක් නොපවතින රටක අධිකරණයෙන්ද පිළිසරණක් නොමැති රටක, මෙවන් වාතාවරණයක් උග්‍ර වුවහොත් නැවතත් ජවිපෙය තහනම් කොට හෝ තම දේශපාලන උවමනාවන් සාක්ෂාත් කරගැනීමට යූ එන් පීය උත්සාහ නොගනු ඇතැයි අපට සහතිකයක් නොමැත. එසේ වුවහොත් යළිත් සිදුවන්නේ රට 88-89 දක්වා ගමන් කිරීමයි. නමුදු පරිණත දේශපාලන ප්‍රවාහයක් ලෙස ජවිපෙ කිසිදු දිනෙක තෙවනි වරටත් එවැනි තීරණයක් නොගන්නා බවට මට ඉර හඳ මෙන් විශ්වාසය. සන්නද්ධ අරගල වලින් විප්ලව කොට ආණ්ඩු පිහිට වීමේ ඉතිහාසය අද ලොවෙන් වියැකී ගොස් ඇති යල් පැනගිය ක්‍රමවේදයකි. අනෙක් අතට මහජනතාවට අසීමිතව ආදරය කරන දේශපාලන ව්‍යාපාරයක් ලෙස පක්ෂයේ කිසිදු තීන්දු තීරණයකින් ජනතාවට නියපිටින්වත් හානියක් නොවිය යුතු බවත්, ඉතිහාසයේ සිදු වූ වැලැක්වීමට ක්‍රමයක් නොමැතිම වූ එම ඛේදවාචකයන් මින් ඉදිරියේ කිසිදු දිනෙක මෙම දේශය තුල සිදු වීමට ඉඩක් නොතබන බවටත් අනුර දිසානායකයන්ද මෑතකදී සපථ කිරීමෙන් එවන් තත්වයක් යළි නිර්මාණය වීමට ජවිපෙන් වචනයක හෝ දායකත්වයක් සිදු නොවන බවට තරයේ විස්වාස කල හැකිය. ඉතින් එවන් තත්වයක් ඇති වීම වළක්වා ගැනීමටත්, එනම් පක්ෂය වෙත යලිත් වරක් එජාපයේ කුරිරු මර්ධනය දියත් නොවීමට මෙවර ගනු ඇතැයි විශ්වාස කල හැකි තීන්දුව හේතු කාරණයක් වනු ඇත.


03. තෙවැනි කාරණයනම් කවුරුන් කෙසේ කුමක් කීවද ජවිපෙ යනු අවශ්‍යතම මොහොතේ පක්ෂය වුවද අවධානමක හෙලා රට වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා දේශපාලන ව්‍යාපාරයක් බව ඔවුන් විසින්ම ඉතිහාසය තුල වරින් වර ඔප්පු කොට තිබේ. චන්ද්‍රිකා සමඟ පිහිට වූ පරිවාස ආණ්ඩුවේදීත්, මහින්ද සමඟ පිහිටවූ සන්ධාන ආණ්ඩුවේදීත් ඔවුන් මෙය ඔප්පු කර තිබේ. මෙවර සේම එදාද ගත් එම තීන්දුව හේතුවෙන් සන්ධාන ගතවීමේදීත් ඉන් ඉවත් වීමේදීත් ජවිපෙට විශාල පාක්ෂිකයන් සංඛ්‍යාවක් අහිමි කරගැනීමට සිදුවිය. නමුත් පක්ෂය පරදුවට තබා ඔවුන් සෑම විටම රට වෙනුවෙන් අත්‍යාවශ්‍යම මොහොතේ නිවැරදිම තීන්දු තීරණ ගන්නා ලදි. ඒ නිසාම පක්ෂයට සිදු වූ හානිය අතිමහත්ය. කොහොමත් කෑලි ගෙවෙනුයේ, කඩා වැටෙනුයේ දුවන වාහනයක් මිස එකතැන නවතා ඇති වාහනයක් නොවේ. ජවිපෙද එවැනිය. එවන් අවස්ථාවල දේශපාලන සවිඥාවක් නොමැති වෛරී විචාරකයන් පවසනුයේ ඔවුන් කිච වූ ප්‍රතික්ෂේප වූ කණ්ඩායමක් ලෙසිනි. නමුදු තේරුම්ගත යුතු යථාර්තය නම් ඔවුන් එලෙස කිච වූයේ රට වෙනුවෙන් මිස බඩ වෙනුවෙන් නොවන බවයි. දේශපාලනයේ කිච වන බොහෝ උදවිය කිච වෙනුවේ තමන්ට කරගැනීමට ගොස්ය. රට වෙනුවෙන් යමක් කොට කිච වූ දේශපාලන ව්‍යාපාරයක් වේ නම් එය ජවිපේ පමණමය. එනිසා එය බොහොම වැදගත් කිච වීමකි. 


04. සහය දීමට කරනවා නම් එය බුද්ධිමත් යැයි පැවසීමට තවත් හේතුවක් ඇත. මෙලෙස පොදු විපක්ෂයක් ලෙස ඒකාබද්ධව පිහිටුවන ආණ්ඩුවක ජවිපෙටද අමාත්‍යංශ කිහිපයක් හිමිවනු ඇත. එමඟින් සන්ධානයෙන් ඉවත් වීමට ගත් "මෝඩ වීර" තීරණයෙන් සිදු වූ වරද යළි නිවැරදි කරගත හැකිවනු ඇත. ජවිපෙට තිබුනේ හෙළ උරුමය මෙන් ඇතුලේ සිටම විවේචනය කරමින් කෙසේ හෝ කාගෙන සිටීමය. එසේ වූවානම් මහින්ද වුවද එතරම් නටන්නේ නැත. මොකද ජවිපෙ යනු සන්ධාන ආණ්ඩුවේ සිටි ශ්‍රී ලනිපය හැරුණු විට ප්‍රබලතම දේශපාලන පක්ෂයයි.එනිසා සන්ධාන ආණ්ඩුව තුල ජවිපෙට යමක් කල හැකිව තිබුනි. නමුත් ප්‍රායෝගිකත්වයට වඩා ප්‍රතිපත්ති වලට ගරුකල පක්ෂයක් ලෙස (සැබෑවටන්ම සිදු විය යුත්තේ මෙයයි. නමුදු ලංකාව යනු ප්‍රතිපත්තිමය දේශපාලනයක් කල හැකි දේශයක් නොවන හෙයින් යම් අවස්ථාවල ඌරාගේ මාළු ඌරාගේම පිටේ තබා කැපීම වඩා ප්‍රායෝගික විය යුතුයි. ලිං කටින්ම ගොඩ ආ යුතුයි.) ඔවුහු ඉන් එළියට පැමිණියහ. නමුත් එසෙ නොකර ඒ තුලම සිටිමින් එම අමාත්‍යංශ දරමින් අන්තිම මොහොත වනතුරුම රැඳී සිටියානම් අඩුම තරමින් ජනතාවට ජවිපෙ පිළිබඳ යම් ආකල්පයක් හෝ ඇතිවීමට හැකියාව තිබුනි. පැවති ආණ්ඩු විසින්ම ජන මනස් තුලට කාවද්දවා ඇති දේශපාලන දැක්ම, දේශපාලකයා පිළිබඳ දැක්මට අනුව ලංකාවෙ මහජනයා දේශපාලයා දකිනුයේ පුදසත් කාර කල යුතු වැඳ වැටී යැදිය යුතු, තම රීරි මාංසයම හූරා කෑ යුතු, ඒ සියල්ල වෙනුවෙන් අතුරු පාරක බෝක්කුවක් හදා දුන් විට, උපාධිධාරී පුතාට ආණ්ඩුවේ කන්තෝරුවක පියන් රස්සාවක් ලබා දුන් විට, ආධාර මල්ලක් දුන් විට ප්‍රමාණවත් යැයි සිතාගන්නා දර්ශනයකි. එනිසා මහා ආහාර දාමයක් වැනි වූ රට කරවන ක්‍රියාවලියේ ඡන්දය දීම සහ කන්න ලැබීම කියන පුරුක් දෙක අතර සිටින මහජනතාවට ඉන් එහා විහිදී ඇති අනෙක් පුරුක් නොපෙනේ. පවතින ක්‍රමය තුල එම පුරුක් පෙනීමට හෝ සෙවීමට අවකාශයක් ජනයාට නොමැත. එනිසාම ඒ වැදගත්ම පුරුක් මත හිඳිමින් රට වෙනුවෙන් අත්‍යාවශ්‍යම අවස්ථාවල ජවිපෙ කරන සේවය ජනයාට නොපෙනෙයි නොහැඟෙයි. යමක් කමක් තේරෙණ රටේ උගතුන්ට බුද්ධිමතුන්ට මෙය පෙනුනද කුදු මහත් බහුතර මහජනයාට එය නොපෙනන නිසා. ඔවුන්ට ජවිපේ ඇති වටිනාකමක් නොමැත.  එනිසා එම ජනප්‍රසාදය ඇතිකර ගැනීමටනම් ඔවුන් ජනතාවට දැක හුරු දේශපාලඥයන් සේ ඔවුන් අතරට යා යුතුය. එහිදී ජවිපෙ ප්‍රායෝගිකව වැඩකරන අයුරු ජනතාවට දැකගත හැකිය. සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්ව ජවිපෙ කරගත් ලොකුම මෝඩ කම එම අවස්ථාව අහිමිකරගැනීමයි. ඔවුන් ඇමතිවරු ලෙස සිටි ස්වල්ප කාලයේදී කල සේවාව පිළිබඳ බොහෝ දෙනා තවමත් කතාවෙති. නමුත් ඔවුන් එලෙස ඇමතිවරු ලෙස සිටි බව ජනයාට මතක හිටීමටවත් තරම් කාලයක් නොසිට ජවිපෙ අයින් වීමෙන් ජනයාට ඔවුන් එලෙස සිටියාද කියාවත් මතකයක් දැන් නොමැත. ඒ ලංකාවෙ ජනතාවගේ ස්වභාවයයි. එනිසා මෙවර එම වරද නිවැරදිකරගත හැකිය. කොහොමින් හෝ ගැටෙමින් ඒ තුලම සිටිමින් ජනතාව අතර හෝ මතයක් ගොඩ නඟාගෙන ජන පදනමක් නිර්මාණය කරගැනීමට මෙය අවස්ථාවක් කරගත හැකිය. ඒ තුලින් වඩා වාසිදායක් මොහොතක ආණ්ඩුව හැරගියද ගොඩනඟාගත් ජන බලය මත ඔවුනට වෙනසක් සිදු කල හැකිවනු ඇත. ඒ සඳහා කාලයක් ඉවසාගෙන "අල්ලා සිටිය යුතු" වේ. එවිට යම් දවසක ඔවුන්ටද මෙවර මෛත්‍රී කල සේ කඩා බිඳගෙන යා හැකිය. එනිසා මෙවර සිදුකරන මෙම දැලි පිහියෙන් කිරි කෑමේ අවධානම් ක්‍රීඩාව කෙසේ හෝ ජවිපේ යහපත් ඉදිරිගමන සඳහා මාවතක් කරගත යුතුමයි. මක් නිසාද යත් කෙදිනක හෝ ජවිපෙ ආණ්ඩුවක් බිහිවීම මේ රටේ ජනයාට කවදටත් වඩා හිතකර වීමයි.



(මෙම සටහන ලියන ලද්දේ ජවිපෙ පොදු විපක්ෂයට සහය දෙනු ඇති බවට උපකල්පනය කරමින් පොදු විපක්ෂය මෙවර ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය ජයග්‍රහනය කිරීමත් යන උපකල්පනයේ සිටයි. එය එසේ වීමට පනහට පනහේ සම්භාවිතාවක් තිබුනද ජයග්‍රහනයක් පිළිබඳ ස්ථීර නිගමනයකට පැමිණිය හැකි නොවේ. එනිසා ජවිපෙට මෙය දැලි පිහියෙන් කිරි කෑමේ ක්‍රීඩාවකි. දිනුවොත් එය ඉදිරි පිම්මකට මාවතක් කරගත හැක. පැරදුනොත් එය අපකීර්තිමත් ලකුණක් ලෙස ඉතිහාසයට එකතු වනු ඇත. පැරදීමට බලාගෙනනම් මෙම තීරණය නොගෙන සිටීම සෞඛ‍යට බෙහෙවින් හිතකරය. කෙසේ වුවද සමස්ථයක් ලෙස මෙම තීරණය ගතහොත් එය බෙහෙවින්ම කාලෝචිත සහ අවස්ථානෝචිත තීරණයක් බව මම විශ්වාස කරමි.)


"අහස් කුස අඳුරු වී

හීනියට ඉකිබිඳින හැන්දෑවෙ

මල් මිටක් දරාගෙන දෝතින්ම

ගං ඉවුරෙ අපි තාම බලා ඉමු

ඔරු කඳට ගොඩවන්න

ප්‍රභාතය පිපී එනු දකින්නට...

කොතෙක් දවසක්නම් බලා උන්නද

එනමුදු නෙත් වලට විඩා නෑ

කඳුල නුඹ නාවාට කම් නැත

නෙත් කෙවෙන් තෙමාලන්නට..."


                                                                      -නිසැඳැස තරණය සඟරාවෙනි-