Pages

Sandumal

Sandumal

Thursday, April 28, 2016

•මිතුදම්


"නොමැත මිතුරන්.. මේ කටුක පොළොව මත..."



මිතුදම...
තවත් එක් බැඳීමක්
බැඳීමට අපහසු
දරන්නට අපහසු..
නොමැත මිතුරන්
අත ඇඟිලි තරමට
නොගනිමි ලෙහෙසියෙන්
අතැඟිලි'තර තවත් අතැඟිලි..
නමුත් සමහර අතැඟිලි
හැරයයි මිතුරුදම්..
පවසා අපට ගහන්නට අත්පොඩි..
තනි අතින්....
කොන්දේසි විරහිතව
බොහෝ දේ කැපකර
හදවතින් ගොඩනැඟූ
ඒ වගේ මිතුරුදම්
අද මඟැර යන විට
හැඟේනොමැත මිතුරන්..
මේ කටුක පොළොව මත...
හුදෙකලා ලොව තුල
ගොඩනැඟූ තනිකම
සම්පතකි..
කිසිදා
නොරිදවන සිත...



Friday, April 22, 2016

•හිම දියවී හිමාලයේ

"ඉඩ දී දෙන්නට දඩුවම් දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..
 ගිලිහී ගියදෙන් මිණි කැට දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා.."





කප් සුවහසක් තරම් වූ කාලයක් තිස්සේ බලා සිටි ඒ සොඳුරුතම දිනය උදාවිණි. අනන්තයක් තරම් සිහින මැවූ, කප්පරක් තරම් පැතුම් පිරූ ඒ නිමේෂය පිළිබඳ නැවුම් බීජය රෝපණය වී හරියටම දස වසරකට පසු ඉඩෝරය නිමාවී නැවුම් රිකිල්ලක් සමඟ මහා වෘක්ෂයකට ඉහ ඔසවන ඔවුන් දෙදෙනාගේ ජීවන වෘක්ෂය අද මෙසේ මහපොලොවෙන් ඉහලට එසවීමට පටන් ගෙන තිබේ.

උරුමයක් ලෙස ලක්ෂ ගනන් වස්තු නොමැති නිසාත් ජීවිතය මුල සිටම සරලව පටන්ගත යුතු නිසාත්, සරල සොඳුරු බව නිසකලංකය සියල්ලට වඩාත් අගය කල නිසාත් පවුලේ කිහිප දෙනා පමණක් එකතු වූ ඉතාම චාම් විවාහ මංගලෝත්සවයකින් නිම වූ දෙදෙනාගෙ අතිනත ගැනීම සිදුවූයේ ගමේ පංසලේ නිසල බෝ සෙවණේදීය. ඉන් අනතුරුව දෙදෙනා වඩාත් අකමැති දේ වූයේ අනෙක් සෑම දෙනාම සිදුකරන පරිදි තමන්ගේ ජීවිතයේ වටිනාම මොහොත වන මධුසමය දහස් ගණන්ක් ගෙවා කොන්ක්‍රීට් බිත්ති හතරකින් වටවූ හෝටල් කාමරයක් අඳුරු මුල්ලට වී දින දෙක තුනක් දෙන දෙයක් කා වෙන දෙයක් බලා හිඳීමයි. එනිසාම මුල සිටම සැලසුම් කල පරිදි ඔවුන් මධුසමය සඳහා ඔවුන්ටම ආවේණික වූ වෙනස්ම මාවතක් තෝරාගත්තෝය.

ඒ අනුව ඒ සඳහා තිබූ මුදල් යොදාගනිමින් ඔවුන් සැලසුම් කලේ පුංචි චාරිකාවකි. අඩුම කුඩුම ටිකත්, ඇඳුම් බෑග් දෙකත් සමඟින් ඔවුන් ඔවුන්ගේ කුඩා මෝටර් රථයෙන් මධුසමය සඳහා පිටත් වූයේ ගමනාන්තය පිළිබඳ නිශ්චිත අරමුණකින් නොවේය. ජීවිතයේ මීළ්ඟට උදාවෙන අතිශය තරඟකාරී කාර්යබහුල ජීවන රටාව තුල සිරගතවීමට පෙරාතුව පුංචි ලංකාවේ නොදුටු දසුන් සොයා යා හැකි කදිම අවස්ථාව, මොහොත මෙය බව ඔවුන් වටහාගෙන තිබුනි, පවුල් බරි, දරු මල්ලන්ගේ වගකීමෙන් තඔරව කුරුලු ජෝඩුවක් විලස සැහැල්ලුවෙන් මෙවන් ගමනක් යා හැකි අන් දිනයක් සැබැවින්ම පැවතිය නොහැක.

එම චාරිකාවේ පළමු නැවතුම් පොල ලෙස ඔවුන්ගේ පළමු මංගල රාත්‍රිය සඳහා ඔවුන් තෝරාගන්නා ලද්දේ වස්ගමු වන උයනේ සුමුදු මහවැලි ගං තීරයයි. මහවැලි නදියේ සිහිල් දියදහරින් සන්තර්පණය වී හිරු බැස ගිය අහසේ නැඟුනු සඳ කුමරිය සෙවනේ තරුමල් අහස යට නෑඹුල් යුවල එකට ගුලිවී තුරුලු වී සිටියේ සොබාදහමේත්, ආදරයේත්, ජීවිතයේත් මිහිරියාව හදපත්ලෙන්ම විඳදරාගනිමින්ය. 

ගං ඉවුරෙහි වාඩිවී දෙපා දියෙන් දොවමින් සිටියද, හිම සීතල වෙනුවට මුලු ගතම උනුහුමින් හිරිවැටී යන්නේ සොඳුරු මන්දාලෝකයක් විහිදුවමින් ඇවිලෙන් ගිනි මැලය හේතුවෙන්ද, එසේ නොමැතිනම් දෙහදක අනුරාගී උනුහුම් රුධිර ධාරාවෙන්ද යන වග තේරුම් බේරුම් කරගැනීමට එකිනෙකාගේ දෙනෙත් වෙතම යොමුවී සිටි පෙම් යුවලට අපහසුවාක් මෙනි. 

කුඩා ගල්බොරලු මතින් සිලි සිලි හඬ නගමින් කඩිමුඩියේ ගලන මහවැලි ගං කොමලිය කිරි පෙණ පිඬු නගමින් නව යුවලට සිනාසෙමින් ආසිරි පතද්දී එකිනෙකාට තව තවත් තුරුලු වූ යුවල සැඳෑ අඳුරට මුහුව දහසකුත් රහස් මුමුණන්නට විය. කෙසේ නමුදු සිහිල් සුලං, හිම සීත ජල බිඳිති පරදා සීතල ගිනියම් වෙමින් පැවතුන බව නම් දැනහුන්නේ ඔවුන්ගේම සන්තානයන් පමණි. දුහුල් සලුවෙන් ළමැද මුවාකල මුවැත්තියගේ හදවත් ජලාශයෙහි සියුම් කැලඹිලි වලින් කිතිකැවෙන පපුතුර තව තවත් නිල් දියෙහි දිය රැලි වල උනුසුමට සතපවාගත් යෞවනයා එහි පරමානන්දය විඳගනිමින් තව තවතවත් ඇයටම තුරුලුවූයේ සලුපිලි යට හිඳිමින් අවදිවී ඔහුගේ උනුහුමෙන් කුල්මත් වූ ඇගේ හදවත් නීල ජලාශයේ පිහිනූ හංස පිහාටුවල සුවයද ගතපුරා විඳගනිමිනි. අවධිවී දඟකරන හංස පැටවුන්ගේ දඟකාරකම් වලට සිත්සේ දඩුවම් දීමට ඉඩහැර ඇය දෙනෙත් පියාගෙන තුරුලටම වී සිටියේ සිහින් කෙඳිරියකද නොනැගෙන පරිදි ඇගේ උණුසුම් දෙතොල් ඔහුගේ මුව වෙතම තබාගනිමින්ය.

සඳ එලිය ඇගේ වත මතට පැහැපත්ව වැටී තිබිණි. කහ පැහැති ඇගේ වත එලියෙන් තවත් පැහැපත් වී තිබුනේ ඇත්දළ පැහැයෙනි. ඔහුගේ බඳ මතින් වැටී දුහුල් සලුව ඉවත ඇදී නිරාවරණ්ය වී තිබූ ඇගේ සුමුදු පා සඳ එලියේ වාත්තුකල රන් කඳක් සේ දිලුණි. ඔහුගේ පහසින් ඇගේ සියොළඟම තව තවත් උනුහුම් වී රත් පැහැ වී තුබුනේ වීනස් දෙව් දුව ගං දෑලට වැඩ සිටි අයුරිනි. ඇගේ රූ සපුවේ විචිත්‍රත්වය තවමත් සඟවාගෙන සිටි දුහුල් සලුව සඳ එලිය සමඟින් පොරබඳිමින් සිටියේ සොබාදහමට ඇගේ රූ සිරිය නොපෙන්වා සඟවා සිටීමට මෙනි. නමුදු මෙයින් හෙම්බත්වී හුන්නේ සඳ එලිය, මදනළ, සොබාදම පමණක් නොවෙයි, මේ නිලංකාරයෙන් දෑස් විඩා හැර අගේ රුසිරිය සිත් පුරා, ගත පුරා විඳ දරාගැනීමට සොබාදහමටත් සඳ එලියටත් වඩා අයිතිවාසිකම් කී යෞවනයාද සිටියේ නොඉවසිල්ලෙනි.

නැත එපමණ්ක්ද නොව, මෙතරම් කාලයක් තිස්සේ තමන් සුරැකි තම සොඳුරුතම රුව, යහ ගුණ, නිර්මල ආත්මය ඔහුට පවරා දෙන්නට ඇයද උන්නේ අප්‍රමාණ නොඉවසිල්ලකින්, ආදරය, සෙනෙහස, අපරිමිත දයාබරත්වය, සදාතනික ජීවිතය, දෙදෙනාගෙන් දෙදෙනාට පවරා දීමට මීටත් වඩා කදිම සොඳුරු තවත්නම් මොහොතක් වීද..  නොඉවසිල්ලෙන් බලා හිඳි සඳ සමා වුව මැන.. ඔහුගේ නෙතඳුන් වලට පමණක් උරුම වූ ඒ මිහිරියාව සඳෙන් මුවාකල වළාකුල් සේද සළුවට අප වෛර නොකරමු, සඳ අතුරුදන් වූ මොහොතේ ගිනි මැලයේ ලා එලියෙන් මුදාහල දුහුල් සලුවෙන් නිරාවරණය වූ ඔවුන්ගේ සුමුදු සුමුදු මුදු යහන්තලාවේ ඔවුනට පරමානන්දය සොයා යාමට ඉඩදී, අපද සැඟවෙමු... ඔවුන්ගේ ලෝකයට ඉඩදෙමු.. සුබපතමු..


හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා..
සුදු පෙණ කැටි බලන්න රාධා..
සුළඟ හමයි සීතල සාදා..
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..

සිනා රැලි නගා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ..
පීණන මේ ස්වර්ණ හංසයෝ..
අකීකරුද මෙතරම් රාධා..

ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..

හිම දියවී හිමාලයේ...

මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ..
සඳ දිය මිණිමෙවුලට වැටිලා..
දෑස නිලංකාරයි රාධා..

ගිලිහී ගියදෙන් මිණි කැට 
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..

හිම දියවී හිමාලයේ...

ගායනය : අමරසිරි පීරිස්, වසන්තා තිලකාංගනී
පද රචනය : ධම්මික බණ්ඩාර
සංගීතය : ඩැනිස්ටර් පෙරේරා


(Hima Diyawee - Amarasiri Peiries & Wasantha Thilakangani)


ගීතය අහනවනම්...


Monday, April 4, 2016

•මරණයක සැමරුම

"උඹේ අවුරුද්දෙ පිංකමට.."



සබඳ...
බක් මහේ දිනක පෙරදා..
උඹේ කඳුළැල් සෝ සුසුම් මැද..
උඹේ උණුසුම් කරමතින් මම
නොඑන ගමනක් ගියෙමි..

වර්ෂයක් ඉක්ම ගොස් ඇත..
ඔබ තවම දුකින් යැයි හිතුන හින්දාම
මම පැමිණියෙමි මීදුමක
බැහැදකින්නට ඔබ සැවොම
පිසලන්න ඔබෙ කඳුලු..

දුමාරය මැදින් මමදුටුව දේ ඇත්‍තක්ද..
පීඨෙ ක්‍රීඩා පිටිය සැණකෙළියක්ය එකම එක..
හෙණ හඬින් ගිගුම් දෙනරළු බේස් නද අතර නේකවිද ගී සින්දු

ඒ අතර රඟයි මා මිතුරු කැල කුල්මත්ව
එය ක්‍රිකට් උළෙලක්ලු
අණුස්මරණය කරන
ඔබ සැවොම දුක් වෙච්ච
මගේ මළගම දිනට..

සැබෑවක් විය නොහැක මෙය
මා දකින්නේ සිහිනයක්මය
නොහැක මගෙ මිතුකැලට
මගේ මරණය කරගන්න පොපියනා කෙළිබිමක්
විය නොහැක මෙය සැබෑවක්
මා දකින්නේ සිහිනයක්..

පැමිණ ඇත මා වැරදි තැනකට
මගේ විදු බිම නොවෙයි මේ
මගේ මිතුරන් නොවෙයි මේ..

ම'මිතුරන් කොහේ හෝ සිට
දන් දෙනව ඇති ලේ බිඳු
තබනවා ඇත බෝධි පූජා..
මගේ මා පියන් සමඟින්
පුද දෙනව ඇත බණද දානද..
පිං පිණිස..
නුඹව හැරගිය..
නුඹේ මිතුරා නමට....
දොළොස් මසක් ගෙවී ඇති තැන...


**************************************

නිමිත්ත : *********** ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ජ්‍යේෂ්ඨ සොහොයුරෙකු පසුගිය වසරේ අප්‍රේල් මස හදවත් රෝගයක් විසින් අපෙන් උදුරාගන්නා ලදි. ඔහු වෙන්ව ගොස් වසරක් පිරීම නිමිතිකොටගෙන දැනට පාසැල් පද්දතියට එකතුවී සිටින එම "ජ්‍යේෂ්ඨ" සොහොයුරන් විසින් "ක්‍රිකට් මැච් එකක්" සංවිධානය කොට පවත්වන ලදි!!!!!