Pages

Sandumal

Sandumal

Thursday, September 18, 2014

•ෆෝන් එක බ්‍රික් උනාද?


" ෆෝන් එක බ්‍රික් උනානම්, බයවෙන්නෙපා..."




සුපුරුදු ශෛලියෙන් අපගමනය වෙලා අද මං මේ ලියන සටහන නම් මෙතෙක් කල් ලියපු සටහන් වලින් සපුරාම වෙනස් මුහුණුවරක් ගනී. වෙනදා ඔබට සුපුරුදු ගී විචාර, ගී සංවේදනා හෝ හද සසල කරවන සිදුවීම් මොකුත් නෑ අද ලියන මේ සටහනේ. මේකත් මං මුහුන දුන්න අත්දැකීමක්ම තමයි. ඒත් ඒ අත්දැකීම ඔබත් එක්ක බෙදාගන්න තරම් වටිනා අත්දැකීමක් විදියටයි මට හැඟෙන්නෙ. මොකද මේකෙන් සමහර විට ඔබටත් යම් පමණක හෝ ප්‍රයෝජනයක් අත්වෙන්න ඉඩ තියෙනවා. අඩුම තරමෙ ඔබ දන්න කියන කෙනෙකුට හෝ.

සිද්ධිය මේකයි.හැමෝටම ඇන්ඩ්‍රොයිඩ් උණ හැදිල තියෙන මේකාලේ මටත් ටිකෙන් ටික ඔය උණ බෝවුණා. එහි උත්සන්නතම අවස්ථාවෙදි මාත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක හිමිකරුවෙක් උනා. ඒක සැම්සුන්ග් ගැලැක්සි වර්ගයේ එකක්. ත් ඒක කොරියන් වර්ෂන් එක. ඉතින් මේ විශය ගැන දන්න ඕනි කෙනෙක් දන්නවනේ කොරියන් සොෆ්ට්වෙයාර් එක්ක ඒ දුරකතනය අපේ රටේ පාවිච්චි කරන්න බැරි බව. ඒ නිසාම මං ගත්තෙත් අර පොදු ව්‍යවහාරයේ කියන විදියට "ඉන්ටර්නැෂනල් කන්වර්ට්" කරපු එකක්.

ඉතින් කිසිම අතුරු ආබාධයක් නැතිව මං මේක ටික කාලයක් පාවිච්චි කලා. ඒත් එක් අහඹු සිදුවීමක් අද මං මේ පෝස්ට් එක ලියන තත්වයට මාව පත් කරල ලොකු කතන්දරයක් බිහිකලා. ඒක උනේ මෙහෙමයි, සැම්සුන්ග් දුරකතන පරිගනකයට සම්බන්ධ කරන KIES කියන මෘදුකාංගය ඔන්න මගේ ලැප්ටොප් එකෙත් තිබුනා. ඉතින් පරිගනකය අන්තර්ජාලයට සම්බන්ධව තිබීමත්, KIES බැක්ග්‍රවුන්ඩ් එකෙන් run වෙමින් තිබීමත් මගේ ගැලැක්සි දුරකතනය පරිගනකයට සම්බන්ධව තිබීමත් කියන මේ කාරණා ත්‍රිත්වය මගේ දුරකතනයේ බ්‍රික් ත්‍රිකෝණය හරි අපූරුවට නිර්මාණය කලා!!

ඉතින් මේ අවශ්‍යතා තුනම සම්පූර්ණ වෙලා තිබුන නිසා KIES මෘදුකාංගය මට පෙන්නුවා මගේ දුරකතනය සඳහා අලුත්ම මෘදුකාංග යාවත්කාලීනවීමක් තිබෙන බව. ඒ කිව්වෙ latest software update එකක්. ඉතින් කොහොමත් හැම වෙලේම අලුත් වෙලා ඉන්න කැමති මං කියන පමාවෙන් මේ අප්ඩේට් එක ගන්න කැමැත්ත ප්‍රකාශ කලා. ඉතින් එහි අවසාන ප්‍රතිඵලය විදියට ගිගාබයිට් එකකට ආසන්න data ප්‍රමාණයක් කා දමමින් මගේ දුරකතනය එහි අවසන් සංස්කරණය දක්වා අප්ඩේට් උනා. ඉතින් මට දැන් හරි සතුටුයි!

බැලු බැල්මට වැඩි වෙනසක් තිබුනෙත් නෑ. ඒ නිසා මං ඉතින් අවුලක් නැතිව පාවිච්චි කරගෙන හිටියා. ටිකක් වැඩිපුර කොරියන් ඇප්ලිකේෂන් ටිකක් එහෙමනම් තිබුනා. ඒත් මං ඒ ගැන එච්චර හිතන්න ගියේ නෑ. ඔන්න එදා ටිකක් හවස්වෙලා මං පොඩි උවමනාවකට SMS එකක් යවන්න හැදුවා. මෙන්න බොලේ අකුරු හැට පනිනකොට ඉබේම SMS එක MMS එකක් වෙනවා. දෙතුන් පාරක් ට්‍රයි කලා. ම්හු..! හරියන්නෑ. ඔන්න ඒත් එක්කම මට වැඩේ මීටර් උනා. කොරියන් වර්ෂන් එකේ තියෙන ප්‍රධානම රෝග ලක්ෂණය තමයි මේ. ඒ කියන්නෙ SMS එකකඅකුරු හැටකට වඩා type කරන්න බෑ.

හරි! ඒ කියන්නෙ මගේ ෆෝන් එකට වැඩේ සිද්ධවෙලා. සිද්ධ වෙලා නෙවෙයි, යස අගේට තිබ්බ ෆෝන් එකට මං වැඩේ සිද්ධ කරලා. ෆෝන් එක ආයෙමත් කොරියන් වර්ෂන් එකට මාරුවෙලා. දැන් හොඳයිනෙ. මගේ තියෙන අවුලක් තමයි මගේ දෙයකට මොකක් හරි උනොත් ඒක හදාගන්නකල් මට තියෙන්නෙ පුදුම නොඉවසිල්ලක්. හරියටම කිව්වොත් පුදුම කුලප්පුවක්! මං කල්පනා කලා දැන් මොකද කරන්නෙ කියලා. මගේ තියෙන අනිත් දුර්වලතාවය තමයි මට විස්වාස මාව විතරයි. අනික මං කැමති නෑ වැඩක් කරගන්න ගිහිල්ලා තැන් තැන්වල රස්තියාදුවෙන්න. ඒ වගේම එක එකාගෙ ගෑස් බලන්න. ඉතින් ඕකෙ අවසාන ප්‍රතිපලය උනේ රුපියල් පන්සීයෙන් කඩේකට දීල කරගන්න තිබ්බ වැඩේ, ඒ කියන්නෙ ෆෝන් එක ආයෙමත් ඉන්ටනැෂනල් කන්වර්ට් කරගන්නෙක මා විසින්ම කිරීමට තීරණය කිරීම. මං සාමාන්‍යයෙන් එහෙමයි. මට මගේ වැඩ මංම කරගන්නෝනි. මුලින් තිබුන මගේ N95 එකේ රිබන් එක අවුල් වෙච්ච වෙලාවෙ යූ ටියුබ් එකෙන් බලාගෙන ෆෝන් එක ගලවගෙන රිබන් එක මාරු කරගත්තෙ මංමයි. මුලින් ඒ වැඩේ කරගන්න මෙහේ තියෙන හොඳම ෆෝන් කඩේට ගිය වෙලාවෙ එතන එකා මට කිව්වෙ මේක හෙන සීරියස් වැඩක්, දවසක් විතර යනවා අරකයි මේකයි කතන්දර ගොඩයි.

ඉතින් යූ ටියුබ් එකෙන් බලාගෙන මේ වැඩේ කරගන්න මට පැය බාගයක්වත් ගියේ නෑ. ඊළඟ වතාවෙ මගේ ලැප් එකේ රයිටර් එක මාර්කරගත්ත එකත් මං කලේ ඉන්ටර්නෙට් එකෙන් බලාගෙනයි. ඒ නිසාම මට ඒ ගැන හොඳ විස්වාසෙකුත් තිබ්බ. ඒ නිසා මං වැඩේට බැස්සා. ඉතින් මේ වතාවෙ උදවු ගත්තෙ, මේ සම්බන්ධව තොරතුරු අඩංගු තාක්ෂණික බ්ලොග් වලින්. මේ වැඩෙට අවශ්‍ය ODIN කියන මෘදුකාංගයත්, අදාල ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එකත් තව අමතර ෆයිල් කිහිපයත් ඒ දාල තිබුන ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගත්තා.

ඉතින් මං මේ කිව්ව හැම තාක්ශණික බ්ලොග් එකකම අනතුරු අඟවල තිබුනා මේ කරන දෙයින් ෆෝන් එක බ්‍රික්(BRICK) වීමේ අවධානමක් තිබෙන්න පුලුවන් කියලා. බ්‍රික් වෙනවා කියන්නෙ ෆෝන් එක කිසිම ජීවයක් නැති, ආයෙමත් සජීවී තත්වයට පත් කරන්න අමාරු නිකම්ම නිකන් ගඩොල් බාගෙක තත්වෙට පත් වෙන එකයි. කොටින්ම කිව්වොත් ෆෝන් එකේ මළගම. ඉතින් ඒ අවධානම ගැනත් ඔලුවෙ තියාගෙන කෝකටත් කියල මං මේ වගේ තාක්ෂණික දේවල් වලදි උදව් ගන්න අපේ නිමෝටත් කතා කලා. කතාකරල වෙච්ච වැඩේ ගැන කිව්ව. නිමෝත් මට දුන්න උපදෙස තමයි ඕක කරන්න යන්න එපාය කියන එක. කොහෙද, මං ඒ ඔක්කොටම වඩා බක පණ්ඩිතයනේ. ඕනි එකක් කියල ලැප් එකත් ළඟට කරගෙන මං වැඩේ පටන් ගත්තා. අවසන් වතාවටත් ෆෝන් එකේ තිරය දිහා බැලුවා. තිබ්බ photos, songs, videos වගේ වැදගත් දේවල් සියල්ලම ෆෝන් එකෙන් ලැප් එකට දාගත්තා.

පොතේ විදියට හැම දෙයක්ම උනා. ODIN software එක වැඩේ වසන් කරලා sucessful කියලත් කිව්වා. හරි දැන් ඉතින් කියල තිබුන විදියට ෆෝන් එක විනාඩි කිහිපයකින් auto reboot වෙන්නෝනි. ඉතින් මං බලං හිටියා. විනාඩියක් ගියා, දෙකක් ගියා, පහක් ගියා..ම්හු, සද්දයක් නෑ. කොහොමහරි විනාඩි 15කටත් වඩා මං බලන් හිටියා. ඒත් කිසිම ප්‍රතිචාරයක් නෑ. දැන් දැන් මගේ පපුව ඩග ඩග ගාන්න ගත්තා. බැරිම තැන පවර් බටන් එකෙන් ෆෝන් එක ඔන් කරන්න බැලුවා. බෑ හරියන්නෙම නෑ. ඊළඟට ආයෙත් බැලුවා ඩවුන්ලෝඩ් මෝඩ් එකට ගන්න හැකිද කියලා. ඒත් බෑ.

දැන් මට සක්සුදක් සේ පැහැදිලියි, මගේ ෆෝන් එක බ්‍රික් වෙලා. ඒකියන්නෙ ඒක මැරිලා. හැමතැනම කියල තිබුන විදියට ආයෙ ගොඩ ඒමක් නෑ. දැන් ඉතින් කාට කියන්නද. මට කරන දෙයක් හිතාගන්න බැරිවුනා.





මං ආයෙත් ගූගල් දෙයියගේම පිහිට පැතුවා. search කලා බ්‍රික් වෙච්ච ෆෝන් එකක් unbrick කරගන්න පුලුවන්ද කියලා. එහෙම හොයද්දි එකම එක සාර්ථක විසඳුමයි හම්බුනේ. ඒ USB JIG එකක් පාවිච්චි කරල නැවතත් ඩවුන්ලෝඩින් මෝඩ් එකට ගන්න එක. ඒක ෆෝන් එකේ data cable pin එක සයිස් pin එකක් තියෙන පොඩි ගැජමැටික් එකක්. ඒක ෆෝන් එකේ data cable එක connect කරන තැනට ගැහුවාම ෆෝන් එක ඩවුන්ලෝඩින් මෝඩ් එකට වැටෙනව කියල තමයි කිව්වෙ.



USB JIG





තාමත් මගේ පණ්ඩිතකම ඉවර නෑ, දැනුත් මං කැමති නෑ මේක හදන තැනකට දීල බලන්න. මමනේ කඩාගත්තෙ, මටම දැන් හදාගන්න ඕනි. එහෙමයි මං හිතුවෙ. දැන් මට ඕනි JIG එකක් හොයාගන්න. ඇවිද්ද ටවුම පුරා. ඒත් වැඩක් නෑ, මෙහේ උන් එහෙම එකක් ගැන අහලවත් නෑ. ඒ ගිය හැම වෙලාවෙම ෆෝන් එකට වෙච්ච දේ කියල මං ඇහුව හදාගන්න පුලුවන්ද කියලා. හැම එකාම මට දුන්නෙ එකම උත්තරයක්. තියල යන්න, බලන්නම්, මේ වැඩේට ටිකක් වෙලා යනවා. සමහර විට ගොඩදාන්නත් බැරිවෙයි. ඔන්න ලැබුන උත්තර. ඉතින් මං නයා මැරිච්ච අහිකුණ්ඨකය වගේ අපේක්ෂා භංගත්වයෙන් ගෙදර ආවා.

කල්පනා කලා ඊළඟට කරන දේ, දැන් තියෙන එකම විසඳුම USB JIG එකනේ. ඒත් එහෙම එකක් මේ අහල ගං හතකින්වත් හොයාගන්න නෑ. තියෙන ළඟම තැන තමයි e bay එක! ඒත් ඉතින් ඒකෙන් බඩු ගෙන්න ගන්න එව්වට පේමන්ට්ස් කරන්න මට ක්‍රෙඩිට් කාඩ් තියෙන එකක්යැ. ඔන්න ඔය ගැන කල්පනා කරකර ඉන්නකොට මට මතක් උනා අපේ සංචාරකයව. සංචාරකය ළඟදි පෝස්ට් එකක ලියල තිබ්බා කැමරා ආම්පන්නයක් e bay එකෙන් ගෙන්න ගත්ත කියලා. ඉතින් දෙපාරක් නොහිත මං මගේ අඳෝනාව සංචාරකයට කිව්ව. කිව්ව සැණින් නෑ බෑ නොකිය ඌ මගේ වැඩේ කරල දුන්නා.

හැබැයි බඩු ලංකාවට එන්න සති තුනක්වත් යනවලු අඩුම. ඉතින්, කොහොම ඉවසන් ඉන්නද. USB JIG එක කියන්නෙ හරි සරල මෙවලමක් බව අන්තර්ජාලෙ තිබුනා. K300 රෙසිස්ටරයකුයි micro USB pin එකකුයි විතරයි උවමනා මේක හදාගන්න. 

මෙන්න මෙහෙමයි හදාගන්නෙ.

ඉතින් මං නිකං බලන් හිටියෙ නෑ, හදාගත්ත මේ භාණ්ඩෙ. පුදුම නොයිවසිල්ලකින් ගැහුව ෆෝන් එකට. ඒත්.. වැඩක් නෑ, කිසිම සද්දයක් නෑ. දැන් මං දන්නවා USB JIG එක ආවත් මේක ගොඩදාගන්න බැරිබව. 

ඉතින් මට හොඳ හොඳ තරු පේන්න පටන් ගත්තා. ඊළඟට හෙව්වා බ්‍රික් ෆෝන් අන්බ්‍රික් කරන ලංකාවෙ තැන්. කිහිප තැනක්ම හම්බුනා. ඉතින් කෝල් කරල ඇහුවා. මං කිව්වා මං අහවල් දිහා ඉන්නෙ, ඒ නිසා මට එක දවසින් මේක හදාගන්න ඕනි. මං උදේ ආවොත් එදාම වැඩේ කරල දෙන්න පුලුවන්ද කියලා. එකෙක් හරි උත්තරයක් දුන්නෙ නෑ. හැම එකාම කිව්වෙ, බලන්නැතිව කියන්න බෑ, කොච්චරවෙලා යයිද කියල කියන්න බෑ, හදන්න යන වියදමක් කියන්න බෑ. ගෙනත් දෙන්න හදල කෝල් කරන්නම්. ඔන්න උත්තර. ඉතින් දැන් මට පුලුවනෑ මෙහෙම තැන් වලට ෆෝන් එක යවන්න.

අනික මේ කියන උදවිය වැඩේ දන්නවනම්, ඒ ගැන expertලානම් කියන්න පුලුවන් වෙන්නැපැයි වැඩේ කරන්න මෙච්චර වෙලාවක් යනවා, මෙච්චර ගානක් යනව කියලා. මුන් දන්න වැඩක් නෑ, මේ කරන්න හදන්නෙ මගේ ෆෝන් එක පරීක්ෂණාගාර මීයෙක් කරලා ඒකෙන්ම අත්හදා බලලා හදන්න ට්‍රයි කරන්නයි. ඉතින් මං තව හෙව්වා.

ඔන්න ඔය වෙලාවෙ මට මගේ නිධානය පහල උනා. ikman.lk එකේ තිබුන ඇඩ් එකක කියල තිබුනා, ඕනිම බ්‍රික් ෆෝන් එකක් අන්බ්‍රික් කරනවා, mother board replace කරන්න අනං මනං කරන්න ඕනි නෑ කියලා.  ගත්ත මං කෝල් එකක්. මගේ අවනඩුවා කිව්වා. කිව්ව ගමන් මෙන්න එහෙන් මට කියනවා, "ආ ඕක පොඩි දෙයක්, ගොඩදාන්න පුලුවන්, මට පැය දෙක තුනක් යන්නත් කලින් හදල දෙන්නත් පුලුවන්" කියලා. ඔන්න මගේ සියොළඟම කූල් වෙලා ගියා. ඒත් දැන් ඊළඟ ප්‍රශ්නෙ. මේ කියන shop එක තියෙන්නෙ මිනුවන්ගොඩ. ඉතින් මං කොහොමද එක දවසින් ගිහින් මේ වැඩෙත් කරගෙන ආපහු එන්නෙ.

අනික නිවාඩු දාන්නත් වෙනවා. ඊටත් වඩා කරගත්ත විනාසෙ ගෙදරටත් මාට්ටු වෙනවා. කනක් ඇහිලා ඉන්න වෙන්නෙත් නෑ. නමුත් මට කතාකරාපු පුද්ගලයා ළඟ ඒකටත් තිබුනෙ හරිම සරල විසඳුමක්. "ඔයා ඔහෙන් ෆෝන් එක කූරියර් සර්විස් එකකට බාර දෙන්න, එතකොට මට පහුවදාට හම්බෙනවා, මං ෆෝන් එක හදල එදාම හවස ඔයාට ආපහු රිටර්න් කරන්නම්"   ඔන්න කිව්ව එක. ඉතින් මාත් තීරණය කලා ඒ ක්‍රමේට මේක කරගන්න. ඒත් දෙයියනේ, මං කොහොමද, ජීවිතේට දැකලවත් නැති නාදුනන අයෙකුට, නාදුනන තැනකට මේක යවන්නෙ. මනුස්සයා මේක හදල මට එව්වෙ නැති උනොත්? ඔන්න ඊළඟ ප්‍රශ්නෙ.

ඒත් ඉතින් ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී කියන තත්වයේ හිටපු මම අමාරුවෙන් උනත් හිත හදාගත්තා මේ කියන තැනට ෆෝන් එක යවල හදාගන්න. මේ තත්වෙන් තියාගෙන හිටියත් වැඩකුත් නෑනෙ. ඒත් ඊට කලින් මේ කියල තිබ්බ shop එකේ නමින් මං පොඩි ගූගල් සර්ච් පාරක් දැම්මා. මෙන්න බොලේ පෙන්නනවා. වෙනම වෙබ් සයිට් එකකුත් තියෙනවා. එසේ මෙසේ තැනකුත් නෙවෙයි, ෆොටෝ ගැලරියෙ තිබුනෙත් shop එකේ ෆොටෝ. බිම ඉඳල සිවිලිමට යනකල් ගොඩගහපු කම්පියුටර් සිය ගානක්, මේක කොරියන් වලින් කම්පියුටර් ආනයනය කරලා තොග වලට විකුණන තැනක්. ඉතින් මගේ දුප්පත් ෆෝන් කට්ට්ට විකුනගෙන කාල මේ මනුස්සයා රජ වෙන්නයැ.

ඉතින් ඔන්න ඔහේ ඕනි එකක් කියල මං මගේ ෆෝන් කට්ට හොඳට ඔතල කරල, පාංසකූලෙත් දීල කූරියර් එකට බාරදුන්නා හවස පහට විතර. මෙතන ඉඳල ඉතින් කාලෙ ගෙවුනෙනම් හරිම හෙමින්. කොහොම හරි ඔන්න පහුවදා දවල් දොලහ හමාරට විතර මට එනව කෝල් එකක්. එන්නෙ මං ෆෝන් එක යැව්ව තැනින්. මං හිතුවෙ එකත් එකටම ෆෝන් එක එයාට හම්බුනා කියල කියන්න කෝල් කරනවා කියලයි. මං ආන්ස්වර් කලා. මෙන්න දෙබස;

" මේ මනෝෂ්ද?"

" ඔව්"

" ආ.. ඔයා නේද එස් 2 එකක් කූරියර් කරල එව්වෙ?"

" ඔව්, ඔව්.."

" මට පොඩ්ඩක් ඒකෙ පාස්වර්ඩ් එක කියනවද!!"

ඔන්න ඔහොම ඇහුව ගමන් මට තව ඩිංගෙන් පුටුවෙනුත් නැඟිට්ටවෙනවා. මෙන්න පොරවල්! සුපිරිම එක්ස්පර්ට්ලා. ඇයි මේ පාස්වර්ඩ් එක අහන්නෙ. ඒ කියන්නෙ මේ පොර ෆෝන් එක හදල ඔන් කරලත් ඉවරයි. ඉතින් සීයට දසම ගානක විතර විස්වාසයක් තිබුන මට මේක ලොකු පුදුමයක් උනා.

ඔන්න ඉතින් පාස්වර්ඩ් එකත් කිව්වා කියමුකො, ඊළඟට මෙන්න අහනවා, 

" ෆෝන් එකේ වෝල් පේපර් එකට දාල් තියෙන්නෙ ලේඩි කෙනෙක්ගෙ ෆොටෝ එකක් නේද?"

ඔය ඇහුවෙ මං වෝල්පේපර් එකට දාඅගෙන හිටපු මගේ කවිකාරිගේ ෆොටෝ එක ගැන. ඔන්න, ඉතින් වැඩේ confirm! 

ඉතින් ඔන්න ඔහොමයි මගේ මැරිල ගිය ඇන්ඩ්‍රොයිඩ් එකට ආයෙත් පණ ලැබුනෙ. ඉතින් මේ අවංක මනුස්සයා එදාම හවස ෆෝන් එක ආපහු මට return කලා. මං එයාගෙ එකවුන්ට් නම්බර් එකට එයාගෙ ගාස්තුව බැර කලා. බොහොම පොඩි මුදලක්. අපි වගේ අමාරුවේ වැටුන මිනිස්සුන්ට ඒ ගාන ඉතාම සාධාරණයි. කොහොමරි පහුවදා උදේම ආයෙත් ෆෝන් එක මගේ අතට ආවා. ෆෝන් එක යවල, හදාගෙන ආපහු ගෙන්න ගන්න පැය 24ක්වත් ගියේ නෑ.

හරි, දැන් මං මේ සිද්ධියේ කියවන ඔයාලට වැදගත්ම කොටසට එන්නම්. මොකද මට වෙච්ච මේ අකරතැබ්බය කියෙව්ව කියල ඒකෙන් ඔයාලට ඇති සෙතක් නෑනෙ. ඉතින් මේ කියන්නෙ මං වැටිච්ච අමාරුවෙන් මාව ගොඩ දැම්ම මේ ෆෝන් repair කරපු තැන විස්තර ටික. ඉතින් ඔයාලටත් මේ වගේ ප්‍රශ්නෙකට මුහුණ පාන්නට උනොත්, ඔයාලගේ හිතවතෙක්ට මෙහෙම උනොත් බය නැතිව යන්න කියල මට මෙතන රෙකමදාරු කරන්න පුලුවන්.

මෙන්න විස්තර ටික,

Name : Asanka Indika
Tel : 0777 494868
Email:ardentpvtldt@yahoo.com
Address : 247/1,Negombo road
Yatiyana,Minuwangoda.
Web : http://www.ardent.lk

ඉතින්, මං ඔබට දෙන අවවාදය තමයි, අත්‍යාවශ්‍යම කාරණයකට හැර ඔබේ දුරකතනය Root කරන්න, Custom ROM ගහන්න, Version Upgrade කරන්න හදන්නෙපා. ඒත් ඉතින් බැරිවෙලාවත් එහෙම උනොත් එච්චර බයවෙන්නත් එපා, මේ අසංක ඔයාලට ඒ ෆෝන් එක හදල දෙයි.

ඉතින් මට වෙච්ච මේ අකරතැබ්බය සමීපතම බ්ලොග් සහෘදයාන් කිහිප දෙනෙකුත් දැනගත්තා. මං අර උඩින් කිව්ව වගේ අපේ සංචාරකයට අමතරව ප්‍රියාත් මහන්සි ගත්තා මේක හදගන්න තැනක් හොයාගන්න මට උදවු වෙන්න. ඒ වගේම අපේ සිංදු ඇනෝත් මේක දැනගත්තා.

දැන් ඉතින් මේ ලිපියෙ අවසානයට ළඟයි. කට්ටිය හොයනවද අද මූ මේකට දාන සිංදුව මොකද්ද කියලා? මෙතෙක් කල් මං ලියපු හැම ලිපියකටම ගීතයක් සම්බන්ධ උනා අවසානයේදී. ඒත් බොලේ මේ සිද්ධියට ගැලපෙන ගීතයක් කොහෙන් කියල හොයන්නද. තින් මං ඔය කතන්දරේ විහිළුවට වගේ කිව්ව අපේ සිංදු ඇනෝට. ඒක කිව්වෙ ගූගල් චැට් එකක. හිතාගන්න පුලුවන් නේද වෙච්ච දේ? විනාඩියක් යන්න කලින් අපේ සිංදුවා දැම්ම නේද සිංදු පෝලිමක්!! මට අදගන්න බැරිවුනා. ඒ හැම එකක්ම මේ සිද්ධියටත්, ජංගම දුරකතනයටත් සම්බන්ධ ගී නිර්මාණ!!

ඉතින් මේ වෙලාවෙදි මං ඒ ගී එකක් වත් මෙතන දාන්නෙ නෑ, මොකද ඒ ගෞරවය හිමිවෙන්නෝනි අපේ සිංදු ඇනෝටමයි. ඒ නිසා මං අපේ ඇනෝට ඉතාම සහෝදරත්වයෙන් ඇරයුම් කරනවා ඒ ගී වලින් මේ පෝස්ට් එක හැඩකරන්න කියලා.



Tuesday, September 9, 2014

•කඩේ ප්‍රියංකා


"ඔබ පැතු මැණික ඔබ තුරුලේ ඉන්නේ..."








සමහර අයට උඹ ප්‍රියංකා අක්කා උනා. සමහර අයට උඹ ප්‍රියංක නංගී උනා. තවත් සමහරක්ට උඹ  ප්‍රියංක ඇන්ටි උනා. කට්ටියකට උඹ නිකම්ම ප්‍රියංකා උනා. මේ කොහොම උනත් අපි හැමෝටම උඹ කඩේ ප්‍රියංකා උනා.

අපේ හංදියට මානෙල් කඩේ හංදිය කිව්වම මහියංගණේ නොදන්න කෙනෙක් හිටියෙ නෑ. ඒත් කාලයත් සමඟ මානෙල් කඩේ අරාජික උනත් අදටත් ඒ නම ඉතිරිවෙලා තියෙනවා. ඉතින් ඒ කඩේ කඩාවැටුනට පස්සෙ, හංදියට තිබ්බ සිල්ලර කඩේක අඩුපාඩුව මකල දැම්මේ උඹ කඩයක් දැම්මට පස්සෙ. හංදියෙ ආයෙත් බටු ඇට කොල්ලන්ගෙ ඉඳල මහ මිනිස්සු දක්වා කට්ටිය එකතුවෙන්න ගත්තා.

ඒ උඹේ කඩේ හන්දා. හංදිය ආයෙත් කාර්යබහුල උනා. ජනාකීර්න උනා. උවමනාවක් තිබුනත් නැතත් ගමේ ගොඩක් උන් උදේ හවස උඹේ කඩේ ළඟට එකතු උනා. වෙරළබඩින් ඇවිත් විවාහ වෙලා උඹත් මේ ගිම්හාන පොළොවෙ නෑයෙක් උනා. අපිට අපේ ගමේ එකියක්ම උනා. කා අතරත් උඹ කැපී පෙනෙන චරිතයක් උනා. සමහර විට ඒ උඹේ තිබුන මුඛරි කමත්, දැවැන්ත සරීරයත් පිරිමියෙකුට උරුම පෞර්ෂ්‍යත් නිසා වෙන්නැති. දරුවො දෙන්නෙකුටත් අම්මා වෙලා ගෙදර වැඩ කොටසත් අගේට කරගෙන බිරිඳක් අම්මා කෙනෙක් විදියට උඹ හරි අපූරුවට ජීවන සටනට මුහුණ දුන්නා.

කඩේ බිස්නස් බලන් ඉන්නැද්දිම දියුණු උනා. කොලු පැටව්ම දෙන්නෙක් හිටපු උඹේ ඊළඟ ආසාව උනේ දූ සිඟිත්තකගෙ මූණ බලන එකලු. ඉතින් උඹ තුන්වෙනි දරුව වෙනුවෙනුත් ලක ලෑස්ති උනා. නිරන්තර ජීවන සටනට මුහුණ දුන්න අපේ ගමේ කවුරුත් වගේම උඹත් ඒ අතරම තවත් එක් චරිතයක් වෙලා ජීවත් උනා. දවසින් දවස මෝරගෙන එන දරුගැබ ආදරෙන් පිරිමදිමින් ගමේ හැම ගෑණියෙක් අතින්ම මේ පාරනම් මට ඉන්නෙ දුවෙක් කියල හරි ආඩම්බරෙන් කිව්ව කියල හැමෝම දැන් කතාවෙනවා.

එන්න ඉන්න දූ කුමාරිට අලුත් ඇඳුම් පැළඳුම්, බඩු මුට්ටු විතරක් නෙවෙයි, කණකර අබරණ පවා උඹ එකතු කලා කියල දන්න එවුන් දැන් කියනවා. කොහේ යන්න, කොයි වෙලාවක හංදියට ආවත් කඩේ ඉස්තෝප්පු කෑල්ලෙ තියෙන දුඹුරු පාට දම්රෝ පුටුවෙ වාඩිවෙලා උඹ පාර දිහා බලන් උන්නා. ලෙංගතුව හිනා උනා. කතාකලා. බඩේ තියෙන බත් ටික හරි එළියට ඇදල දෙන්න තරම් හිතක් උඹට තිබුනා. ඒ වගේම කොයි වෙලාවක උනත් අහල පහල ගෙදරකට ගොඩ උනාම ලිපේ තියෙන බත් එකෙන් බෙදාගෙන හරි බත් ඩිංගක් කන්න තරම් නිහතමානි කමක් උඹට තිබ්බා.

පහුගිය දවසක උඹේ කඩේ ලඟ නිතර උන්න අපේ ගමේම රාළෙ මාමා ගැනත් මං මේ විදියටම ලිව්වා. ඒත් මං හීනෙකින්වත් හිතුවෙ නෑ, උඹේ කඩේ ළඟ එහෙම උන්නු රාළේ මාමා ගැන ලියපු විදියටම මට ඊට තුන් මාසයක් යනකොටම උඹ ගැනත් ලියන්න වෙයි කියලා. මේක මහ කරුම ලෝකයක්, කරුම දෛවයක්. රාළෙ මාමා අපෙන් උදුරගත්තෙ අපේම වැව උනාට ඒක එහෙම වෙන්න පාර කැපුවෙ රාළෙ මාමාව හප්පලා උන්දැ ලෙඩෙක් කරපු අපේ ගමට අල්ලපු ගමේ විසේකාරයෙක්. මේ වතාවෙ ඒකගෙම අප්පා උඹව අපෙන් සදහටම උදුර ගත්තා. උඹත් රාළෙ මාමගේ ලෝකෙටම එකතු උනා.

පහුගිය සතියෙ සෙනසුරාද මහ ගිනි මද්දහනෙ උඹ උඹේ දරු පැටවු දෙන්නයි නෑණන්ඩියි එක්ක මහ පාර අයිනෙන් නාන්න ගියේ මොන කරුමයකටද කියල අපි තාමත් හිතනවා. ඒ වගේම මහ විසාල පතරංග පාරෙ තාර කට්ටෙනුත් පහළින් වැල්ල දිගේ ගියපු උඹව යටකරන්න තරම් මේ මනුස්සයා එච්චරටම පොට්ට උනේ කොහොමද කියන එකත් අපිට ප්‍රශ්නයක්. අපි දන්නෙ නෑ මේ මනුස්සයා මඟින් නංගගත්ත ගැහැණියගේ සීට් බෙල්ට් එක දාන්න ගියාද, නැත්නම් වෙන මොකක් හරි කරන්න ගියාද කියලා. මොකද ඒ තරමටම උන්දැගෙ චරිත සහතිකේ හොඳ නිසා.

අපි දන්න එකම දේ පොට්ටයෙක් වගේ මේ කරුමක්කාරයා පිටිපස්සෙන් ඇවිත් පාරෙ අයිනෙන් ගිය ප්‍රියංකව යටකලා කියල විතරයි. උඹට අහකට පැනල බේරෙන්න පුලුවන්කම තියෙද්දිත් උඹ කලේ උඹේ නෑණන්ඩිවයි දරු පැටවු දෙන්නවයි අහකට තල්ලුකරල දාපු එක. ඒකෙන් උන් තුන්දෙනාම බේරුණා. ඒත් උඹ අපිව දාල ගියා. උඹ විතරක් නෙවෙයි, උඹ පෙරුම්පුරාගෙන බලන් හිටිය උඹේ දූ සිඟිත්තත් අපිව දාල ගියා.


පහුගිය දවසකත් අපේ ගෙදර ආව වෙලාවෙ අවාරෙට හැදිල තිබුන අඹ රෑන දැකල පැහුනාම අඹ ඉල්ලලා තිබුන විදිය අම්මා මතක් කරන්නෙ ඇහේ කඳුලු පුරෝගෙන. අපේ අම්මගෙන් බත් මුලක් නොකාපු එකම ගැබ්බර අම්මෙක් වත් නෑ අපේ ගමේ. ඒත් උඹට බත් මුලක් දීගන්න අම්මට බැරිවෙච්ච වේදනාව උහුල ගන්න අම්මටත් අමාරුයි.

කොහොම උනත් අපි හැමෝටම නොමැකෙන මතකයක් ඉතිරිකරල, මුලු ගමක්ම අඬවල උඹයි උඹේ ලේ කැටියයි අපිව දාල ගියා.

උඹ සිහිය නැතිව ඉස්පිරිතාලෙ ඉද්දි, උඹේ කුසේ උන්නු අහිංසකී දඟලපු හැටි, උඹ ළඟම උන්නු අය විස්තර කරනකොට ඇහට කඳුලක් නොගත්ත එකම පිරිමියෙක්වත් හිටියෙ නෑ අපේ ගමේ. අන්තිමේදී, උඹ පෙරුම්පුරපු උඹේ කිරි කැටියයි උඹයි නාන්න ගිහින් ගෙදර ආවෙ පෙට්ටියකින්. බලෙන් කුසෙන් එළියට ආපු උඹේ ලේ කැටියත් රෙද්දකින් පොරවල මූණු පොඩ්ඩ විතරක් පේන්න උඹේම කකුල් දෙක උඩ තියල තිබ්බ දර්ශණය මේ ලෝකෙ කවුරුත්ම දකින්න පවු නොකරන්න ඕනි දර්ශනයක්. ඒත් අපි පවු කලා එහෙම දකින්න. ප්‍රායෝගිකව ඒ කරල තිබුන දේ අනුමත කරන්න අපිට බැරි වුනත් ඒ උඹේ පවුලෙ අයගෙ මනාපෙ.


අන්තිමේදි රියදුරු බලපත්‍රයක්වත් අතේ නැතිව පාරෙ ගිය කාලකණ්නි මාරයෙක් නිසා අපේ මුළු ගමම අඬාවැටුනා. උඹ අපිට අහිමි උනා.

රාළෙ මාමා මරාදැම්මා. යුක්තියක් ඉටු උනේ නෑ. අදටත් උන් යස අගේට පාරෙ වාහන එලවනවා. මේ පාර උගේ මහ එකා උඹව මරල දැම්මා. උඹ විතරක් නෙවෙයි, කුසේ ඉඳපු දරු පැටියත්. අම්මගේ නීතිය සල්ලි වලට යටයිද කියල අපි දන්නෙ නෑ. කොහොම උනත් උඹට යුක්තිය ඉටුකරනෙක වලක්වන්න මේ  වතාවෙ නම් බැරිවෙයි.අපි හැමෝම මේ මුලු ගමම බලාගෙන ඉන්නෙ දැන් උඹ වෙනුවෙන් යුක්තිය ඉටුවෙනකල්. උඹේ කඩේ අද වහල. හංදිය අද පාලුයි. උඹේ දරුවො දෙන්න හිස් අහස දිහා බලාගෙන හූල්ලනවා. අපි තාම පිළිගන්න කැමති නෑ උඹ අපිව දාල ගිහින් කියලා. ඒත් උඹ අපෙන් අද උදුර ගෙන. උඹ යන්න ගිහින්.

ඉතින්... උඹටයි උඹේ සිඟිත්තියටයි සංසාරෙ කිසිම ආත්මෙක මේ වගේ ඛේදවාචකයක් සිදු නොවේවා කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.


"ඔබ දෙදෙනාට නිවන් සුව!"




"දෙවියනි විභූෂණ කරුණා ගුණ පිරුන
කොයි ලොව සිටියාද අප ඉන්නේ නොදැන
නොබැලුවෙ ඇයිද මේ දුක්බර කරුණු ගැන
දිවැසින් බලා වෙන්නට තිබුනනෙ සරණ

හැදුවේ කැදැල්ලක් සාමෙන් සිටින්නයි
ඊළඟ සිතුවෙ දරු සුරතල්  දකින්නයි
සිතුවේ අනේ ඒ දරුවන් සනසන්නයි
වෙහෙසුනෙ නිතර ජීවන මඟ සොයන්නයි

මාරක රිය හැපුනත් දිවි තොරවෙන්න
පින් මදි නඟේ මනු ලොව ඉන්න
නොහැකි උනේ දියණිට ලොව දැකගන්න
පෙර කරුමයක් ඔබ සුවසේ සැතපෙන්න

ප්‍රියංකා නඟේ නුඹ කොතනද ඉන්නේ
ඔබ පැතු මැණික ඔබ තුරුලේ ඉන්නේ
සුරතල් බලන්නට නැහැ නෙත් පියවෙන්නේ
ඔබ දෙදෙනා දෙව් මව් තුරුලට යන්නේ

මතු එක් දිනෙක මේ මනු ලොව උපදින්න
පොඩි දුව සමඟ එන්නකො කූඩුවෙ ඉන්න
පැතුමන් පතමි පැතුමෙන් එය ඉටුවෙන්න
දෙව් මව් තුරුලෙ ඔබ දෙදෙනා සැතපෙන්න..."


ගමක් හැඬවූ මෙම ඛේදවාචකයේ කඳුලු, පැරකුම් පෙදෙසේ සමන් මාමා, සහ දෙහිගොල්ලේ තෝමස් මාමා අතින් මෙලෙස කවියට නැඟුනි...


ඒ සමඟින්ම මෙම උපදේශාත්මක කවියද ඔවුන් දෙදෙනා අතින් ලියැවිණි..


"රියදුරු මහතුනේ මෙය සිහියට ගනිල්ලා
ඇස් කන් ඇරලා මහ පාරේ පලයල්ලා
මේ වන් විපත් ගැන සියැසින් බලපල්ලා
හොඳ කල්පනාවෙන් රිය පැදපල්ලා!"