Pages

Sandumal

Sandumal

Tuesday, July 29, 2014

•විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි

"විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි..."







ශ්‍රී ලංකාව වනාහි දැඩි සංස්කෘතික මතධාරීන්ගෙන් ගහන වූ ආගම මුල් කොටගත් දැඩි සම්ප්‍රදායානූකූල ජනතාවක් වෙසෙන රටකි. ආසියානුකරයේ බොහෝ රටවල් වලට පොදු වූ මේ සාමාජීය වටපිටාව ලංකාව සඳහා වලංගු වන්නේ දුරාතීතයේ සිටමයි. මෙවන් සංස්කෘතික වටපිටාවක වෙසෙන ශ්‍රී ලංකාවේ කාන්තාව සඳහා සමාජය තුල හිමිව ඇත්තේ ඉතාම සුවිශේෂි ස්ථානයකි. එම තත්වය බොහෝවිට ලාංකීය කාන්තාවට ආවාසිදායක තත්වයක් උදා කලද, වර්ථමානය වනවිට එම තත්වය තරමක් පහවෙමින් පැවතියද, තවමත් බටහිර කාන්තාවට හිමි නිදහස ලාංකීය කාන්තාවට ඉමහත් දුරකින් පවතී.

තවමත් කොල්ලන් හත් පඳුරේම ලැග ගෙදර ආවත් නාවා මයේ පුතේ කියා ගෙට ගන්නා සමාජයක ගැහැණු ළමයෙකුගේ ඉතාම කුඩා වරදකදී පවා ඇය හත් පඳුරියක ලෙස හංවඩු ගැසීමට දෙවරක් නොසිතයි. එවන් පසුබිමක් තුල ලාංකීය සමාජයේ දූෂණයට ලක් වූ කාන්තාවකගේ ඉරණමද ඊට කිසිසේත්ම දෙවනි නොවේ. අද ඔබවෙත ගෙන එන ගී සංවේදනාව, විචාරය එවන් ප්‍රස්තුතයකට ආනුව නිර්මාණය වූ ඉතාම අගනා ගීතයකි.

ජීවිතයේ කුමන හෝ අසව්ථාවක ඔබගේ සොයුරියක්, හිතවතියක් මේ තත්වයට පත්ව තිබෙනවානම් එවන් අවථාවක ඇය මුහුණ දෙන දැඩි ඛේදනීය තත්වය පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් පවතිනු ඇත. දූෂණයට ලක්වූ අහිංසකාවියකට මෙවන් රටක් ඉන් ඉදිරියට අනාගතයක් ඇත්නම් ඒ ඉතාම කලාතුරකිනි. බොහෝ අවස්ථාවල තමන්ට සිදුවූ අභාග්‍ය හොර රහසේම සඟවා ගැනීමට ඇය පෙළඹෙනුයේ තමන්ගේ ආත්ම ගරුත්වය සහ අනාගතය ආරක්ෂාකරගැනීමේ අරමුණෙනි. මෙවන් දියණියන් මේ සමාජයේ කොතෙකුත් ඉන්නවාට සැකනැත. එසේ ලොවෙන් සඟවා සිටියද, ඈ පතිකුලයට යන යම් දිනෙක ඇයට මහත්වූ ප්‍රශ්න රාශියකට මුහුණදීමට සිදුවන්නේ ගතානුගතික සම්ප්‍රදායෙන් ලංකාවේ මිනිස් ඔලු ගෙඩි පිරී ඉතිරී ඇතිහෙයිනි. එය එසේ නොවුනද, නොඉඳුල් කෙල්ලෙක් ලබාගන්න කවුරු උනත් කැමතියි. බෝධිසත්ව පෙම්වතෙකු මිස, වෙනත් අයෙකු කුමනාකාරයකින් හෝ කිළිටි වූ යුවතියක ලබා ගැනීමට අකමැති සමාජයක එවන් තත්වයකට මුහුණදුන් යුවතියකගේ ඉරණම කෙතරම් සෝචනීයදැයි ඔබට සිතාගත හැකිවනු ඇත.

මේ නිසා මෙවන් අවස්ථාවකදී නීතියේ පිළිසරණ පතා වරදකරුවන්ට නිසි දඬුවම් ලබා දීමට ඉදිරිපත්වන යුවතියන් ඉතම දුලබයි. ඇතැම් විට කුඩා කලම මෙවැනි අතවරයන්ට මුහුණපාන යුවතියන් තමන්ගේ මුලු මහත් අනාගතයම අඳුරුකරගන්නේ ඉතාම ඛේදනීය අයුරින්ය. එවන් බොහෝ දෙනා අවසානයේ තමන්ගේ සිරුර විකුණාදැමීමේ තත්වයට පත්වෙති.

කෙසේ වුවද ගීතය මඟින් නිරූපණය කෙරෙනුයේ එවැනි අවසනාවන්ත තත්වයකට මුහුණ දී නීතියේ පිළිසරණ මතා ආ යුවතියක් සම්බන්ධයෙනි.

ගීතය ගලාගෙන යනුයේ දයාබර සොහොයුරෙකු නැඟණියකට කරන ආමන්ත්‍රණයක ස්වභාවයෙනි.

"විසුරුණු මල් පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක්‌ කර මලක්‌ සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමි
විසුරුනු පෙති යලි මලක්‌ නොවෙයි නැගණි..."

මුලුමහත් සිද්ධි දාමයක්ම ගීතයේ මුල් කොටසින්ම ඉතාම කදිමෙට ඉදිරිපත් කරනුයේ, ගීතයේ නිර්මාතෘ වරයාවන බන්දුල නානායක්කාරවසම් නම් ප්‍රවීණ රචකයාගෙ ප්‍රතිභාව මනාව සපථ කරමිනි.

ඇය ඇගේ ජීවිතයේ කාන්තාවකට විඳිය හැකි අමිහිරිම දේ විඳ ඇත. මගේ නෙත්මානයේ මට මැවී පෙනෙනුයේ, හැඬූ කඳුලින් පිස්සියක මෙන් කල්ගතකරන, පාපතරයෙකු අතින් කිළිටිවී ගිය අවිහිංසක යුවතියකගේ මලාන්ක මුහුණයි. ඇය තමන්ට අහිමි වී ගිය උත්තරීතර පවිත්‍රත්වය යළි සොයමින් සිටී.

ඇය එය සොයමින් හඬමින් ඇවිදයයි. පොලීසියේ පිහිට පතයි. උසාවියෙන් යුක්තිය බලාපොරොත්තුවෙයි.  කෙලිදෙලින් සැහැල්ලුවෙන් කාලය ගතකල කුඩා ඇය, අද ගැහැණියකවී කිසිදා පය නොතැබූ උසාවි බිමක සිට ජීවිතයා ඉල්ලා හඬා වැටේ. අනාගතය උදෙසා ඉකිගසයි. නමුදු ඇත්තෙන්ම මේ සමාඅජය ඇයට ඒ දේවල් යළි ලබා දීමට සූදානමින් සිටීද? ඇයට ඇගේ අනාගතය, පවිත්‍රත්වය මේ උසාවියෙන් ලැබෙයිද. ඒසේ ලැබෙනු කෙසේ වෙතත් උසාවියේ නීතීඥයන් අබිමුව ඇය දෙවන වතාවටත් දූෂණය වෙයි. ගොරහැඩි තිරිසන් පපුවකට ඈ හිර වූ මොහොතේ පටන් ඒ පිසාචයාගේ පහත් නරුම ආසාවන් සංසිඳෙන තුරු ඇය මුහුණ දුන් කාලකණ්නි අත්දැකීම ඈට යලි යලිත් හඬගා ලෝකෙටම ඇසෙන්නට පැවසීමට සිදුවේ.

සල්ලිවලට හෘද සාක්ෂිය විකුණගෙන කන විත්තියේ උගත් නීතීඥ මහතුන් නැවත වරක් ඇයව ප්‍රසිද්ධියේ නිරුවත් කොට දමනු ඇත. අවසානයේ වරද කරුවන් නීතියේ රැහැනට හසුවුවද, ඇයට අහිමි වූ ඇගේ ජීවිතය ඇයට යලි ලබා දීමට උසාවියකට හැකිවනු ඇතිද? රචකයා පවසන්නේ එයයි. ඒ සඳහා ඔහු ඉතාම කදිම උදාහරණයක් ලබා දී ඇත. අලංකාරව පිපි මලක පෙති තලා පොඩිකර කඩා දැමූ පසු ඒ මල යලි පෙර තිබූ පරිදිම සකස් කරන්න බැහැ. ඉතින් මෙ අහිංසකාවිය කරන්න හදන්නෙ එයයි. තමන්ගෙ විසිරුණු ජීවිතය, අනාගතය, යලි මලක් කරන්නයි ඇගේ උත්සාහය. නමුත් ඇයට සාර්ථක වීමට නොහැකියි. ඒ වෙනුවට සමහරවිට ම්තැලුණු මලද නටුවෙන්ම ගැලවී මිලන වී යාමටද හැකිවේ.

ඉතින් ඇගේ මේ උත්සාහයේ නිශ්ඵල බවයි රචකයා ඈට මේ ආදරයෙන් කියල දෙන්නෙ. මේ කරන්නෙ විහිළුවක්වත් සරදමක්වත් නෙවෙයි, නමුත් පවතින ලෝක ස්ව්හාවයයි ඔහු ඇයට මෙසේ දයාබරව විස්තර කරන්නෙ.

දියණියක විසින් උගත යුතුම, සමාජයේ තිබෙන තවත් එක් කාරණයක් ගීතයේ ඊළඟ පදපෙලෙන් කියවෙනවා. අපූරු උපමා රූපක භාවිතා කරල එය රසික හදවත් තුලට සංගීතයවත්ව සම්ප්‍රේශණ්ය කරන්න යොදල තිබෙන පදමාලාවනම් අති විශිෂ්ඨයි.

"වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරලට කිසිදා දියඹ දකිනු හැකිදො
බදට පියපත් යුවලක්‌ ලැබුනත්
අහසේ දෙකෙලවර නුඹට දිනනු හැකිදෝ..."

මෙහි වෙරළට උපමා කොට ඇත්තේ මේ යුවතියගේ යොවුන් ජීවිතයයි. රළ පෙල යනු කිසිදු අරමුණක් හෝ ස්ථීරත්වයක් නොමැතිව ඉබාගාතේ යන මෙවැනි ජීවිත බිලිගැනීමට මාන බලන දඩ බලු රංචුවයි.

ඉතින් මේ වෙරළ කරා එන රළ පෙල වෙරළ විසින් කිසිදු විචාරයකින් තොරව ආදරයෙන් වැළඳගත්තද, මේ රළ පෙලේ අතීතයවත්, ගමන් ඇරඹුනු තැනවත් මීට කලින් නතර උන තැන්වත් මේ අහිංසක වෙරළ දන්නෙ නෑනෙ. එත් එක්කම කවදාවත් වෙරළට රැල්ල හොයාගෙන රැල්ල එක්ක යන්නත් බෑ. ඒ දියඹ දකින්නත් බෑ. ඒ කියන්නෙ තමන් වෙත එන මිනිස් වෙස් ගත් තිරිසනුන් ගැන අඳුනගන්න තරම් මේ යුවතියටහැකියාවක් නෑ කියනෙකයි.

ඒ වගේම මේ කිරිල්ලිට ඉගිල්ලෙන් සොබාදහමෙන් පියාපත් ලැබුනද, ලෝකයේ දෙකලවර කිසිදින ඇයට අභිනික්මන් කල නොහැකිවනු ඇත.

පෙර කොටස් දෙක මෙන්ම ගීතයේ අවසාන කොටසද ඉතාම කදිම උදාහරණ රැසක් සමඟින් බන්දුල නානායක්කාර මහතා විසින් ලබා දී ඇත.
ලොවේ දසත බඹරු පියමනිනවා. විවිධ මල් උයන්වල නවාතැන් ගන්නවා. මල් නොතලා රොන් අරන් යනවා, සමහර විට මල් තලා පොඩිකර විනාස කර රොන් ලබා ගන්නවා. ඒත් එහෙම කරන බඹරුන්ට කවුරුත් මොකුත්ම නොකීවද, අහිංසක මල් ගොමුවටනම් එල්ලවන අපහාස, උපහාස කෙලවරක් නොමැතිවනු ඇත.

ගීතයේ අවසානයත් සමඟ සියලු දයාබර සොයුරියන්ට, යෙහෙලියන්ට පොදුවේ ඉතාම හොඳ උපදේශයක් ලබා දීමට මෙතුමා මේ ගීය යොදාගන්නවා.


"බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ..."

කෙසේ හෝ, සමස්ථයක් ලෙස බැලූ පසු කෙටියෙන්ම ගීතයෙන් කියවෙන අර්ථය වනුයේ, දයාබර නංගියේ උඩ බලාගෙන කෙලගහන්න එපා කියනෙකයි. නමුත් බුද්ධියට ඉඩදී නුවණින් විමසූ කල මෙම ගීතය සමඟ එකඟ වෙන්න බැරිවුනත් සමාජයේ තවත් අහිංසක බිල්ලක් ගැනීමට පෙර අපි එවන් පාපතරයන් සමාජෙන් තුරන් කිරීමට හැකිනම් එයයි ඇත්තෙන්ම වටිනාකම.

වැරදි කාරයා වසර කිහිපයකින් නැවත සමජ ගත වනු ඇත. නමුදු ඔහු නිසා ජීවිතය විනාශ වූ මෙම යුවතියන්ට ජීවිත කාලය පුරාම සුසුම්ලමින් හිඳීමට වනු ඇත.

කෙසේ වුවද, ස්ත්‍රී දූෂකයාන් පිළිබඳ මාගෙ පුද්ගලික මතයනම් පැහැදිලිව සාක්ෂි සාධක සහිතව ඔප්පුවෙන මෙවැනි පාපතර වැරදිකරුවන් හට කිසිදු සමාවකින් තොරව මරණ දඬුවම ලබා දිය යුතු බවයි. මක් නිසාද ඔහු මේ තත්වයට පත්ව සිටින්නේ, අවිහිංසක තරුණ ජීවිතයක් මරා දැමීමෙනි.



එවැන්නෙකුට සමාවක් හිමි නොවිය යුතුමයි. එවැන්නන් මේ සමාජය ටුල නොසිටියම යුතු අයයි.

කෙසේ හෝ නානායක්කාරවසම්ගේ මෙම විශිෂ්ඨ පදරචනය රෝහණ වීරසිංහයන් විසින් අපූරු ගීතයක් බවට පෙරලද්දී එම ගීතයට ජීවය ලබා දෙන අතුල අධිකාරිගේ ලයාන්විත හඬ මාධූර්ය අප හදවත් ප්‍රකම්පනය කරනුයේ පුදුමාකාර ලෙසිනි. දයාබර නැගෙණියකට දයාබර සොහොයුරෙකුගේ සෙනෙහබර, අවවාදාත්මක ආමන්ත්‍රණය ගීය පුරා ඉතාම සංවේදීව රැකගැනීමට ඔහු සමත්වී ඇත.




විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
සරදම් නොකරමි ආදරයෙන් කියමි
විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි

වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවලක් ලැබුනත්
අහසේ දෙකලවර නුඹට දිනනු හැකිදෝ

බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ


පද රචනය : බන්දුල නානායක්කාරවසම්
ගායනය : අතුල අධිකාරි
සංගීතය : රෝහණ වීරසිංහ



(Wisirunu Mal Pethi - Athula Adhikari)







ගීතයේ ස්වර ප්‍රස්ථාරය



ඡායාරූපය අන්තර්ජාලයෙනි.

විශේෂ ස්තූතිය : ගීතය සඳහා ස්වර ප්‍රස්ථාරයක් සොයා දුන් බ්ලොග් සහෘදයාට සහ මෙම ගීතය පිළිබඳ මගේ අවධානය යොමුකරවූ මගේ මිතුරු දීපාල් සොහොයුරා හට..


*********************************************************************************


පසුව ලියමි

වෙනදා නොවූ තරම් තරමක නිහැඬියාවකින් පසු අද මාඅ ඔබ හමුවට මේ විචාරය රැගෙන ආවද ඒතුල මා තෘප්තිමත් නොවන වගනම් පැවසිය යුතුමයි. බොහෝ අව්ස්ථාවන්හීදී මා ලියූ ලිපි පිළිබඳ හිතෙ පිරෙන පරිපූර්ණ බවක් මින්පෙර දැනී ඇතිමුත් මේ සටහන තුල මට යම් හිස් බවක් දැනේ. කෙසේ වුවද එසේ සිත මෙය නැවතත් ඩ්‍රාෆ්ට් ගොඩට තල්ලු කර දමා තවත් දින කිහිපයක් නිහඬවම සිටීමට මගේ ඇති බලවත් අකමැත්ත නිසාම මම මෙය ඔබ වෙත අදම ගෙන එන්නෙමි. කවදත් වගේ මගේ දයාබර සහෘදයන් පිරිස මගේ වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් මාව නිවැරදි මාවතට ගෙන ඒන බව මම දනිමි.

පහුගිය සති දෙක තුල මා මුහුණ දුන්  අතිශය කාර්‍ය බහුල කාලය නිසාත් අන්තර් ජාල සබඳතාවෙහි වූ දෝශ සහගත් බවත් නිසාත් ඔබෙන් තරමක් ඈත්ව සිටීමට සිදුවීම පිළිබඳ මම සමාව ඉල්ලා සිටිමි. මේ නිසාම පෝස්ට් එකක් ලිවීමට තබා ඔබේ ලිපි වලට අදහසක් එකතු කිරීමටද මා හට බොහෝවිට අතපසු විය. 

ඒසේනම් පරණ පුරුදු ලෙංගතු බවින්ම යළිත් අපි එකතුවෙමු. මේ අරාධනාව දයාබර ඔබ සැමටමයි.


Sunday, July 13, 2014

•අවසන් හුස්ම පොද නොබියව හෙළන්නට

"මේ රළු පොළොව ජය ලැබුවෙමි වැතිර වැටී...අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී..."





අද මේ කතාව කොහොමහරි ඉවරකරන්නෝනි. ඒ නිසා අද ලිපිය කොච්චර දිග උනත් කතාවෙ අවසානයට ළඟාවෙලා තමයි අදනම් මේ ලිපිය හමාර කරන්නෙ. මොකද ගීත විචාර, ගී සංවේදනා වලට වෙන් වුන මගේ බ්ලොග් එක මේ කතාව නිසා වෙනත් මාවතකට යොමුවූ බවයි මගේ අදහස.

කලින් කොටසෙදි කිව්වනේ මං කුඩාම කාලයේ අපි ජීවත් උන ගම ගැන. වගාව ගැන. මේ ගම ඇත්තෙන්ම ජීවත්වීමට සුදුසු ගමක් උනේ නෑ. ගේ වටේටම මුලු ගමේම හිටියේ බේබද්දො. කොයිවෙලාවෙත් බඹරු වගේ. ඒ ගමේ ගෑනු මිනිස්සු හැමවෙලාවකම හොඳ වචන වෙනුවට කතාකලේ කුණුහරුප. කටින් පිටවෙන හැම වාක්‍යකම පරුෂ වදන් දෙක තුනක් නම් වැරදුනේම නෑ. ඒ නිසාම ඒ ගමේ බහතෝරන කුඩා දරුවෙකුට හැදෙන්න පුලුවන් වාතාවරණයක් තිබුනෙම නෑ. මේ කාරණා නිසාම අකැමැත්තෙන් උනත් අම්මයි තාත්තයි දෙන්නම තීරණය කලා තමන්ටම කියල ගත්ත මේ ඉඩමත්, එහි තමන්ගෙම කියල හදාගත්ත ගේ පොඩ්ඩයි දෙකම විකුණන්න.

ඉතින් ඔන්න ඔය විදියට අපි ආයෙමත් කුලී නිවසකට වැටුණා. හැබැයි මේ ගෙදරනම් අපි හදාගත්ත අපේම ගෙටත් වඩා බොහොම ඉස්තරම්ව තිබුනා. හොඳට ගඩොලින් බැඳලා කපරාරු කරපු උළු වහපු කාමර තුන හතරක් තිබුන "ලොකු" ගෙදරක්.  ඒ සොරබොර වැව පාරේ. ඒ ගෙදර අයිතිකාරි උනේ "කුමී" ඇන්ටි. කුමී ඇන්ටි හිටියේ රට. ඒ ඇන්ටිගේ සැමියා මැරිලා. මැරිලා කිව්වට එයා දිවිනහගෙන. අපිට ඒ කුලියට දුන්නු ගෙදරම තමා ඒ මාමා වහබීල මැරිල ඉඳලා තියෙන්නෙත්. ඒත් මගේ අම්මවත්, තාත්තවත්, මංවත් බය උනේ නෑ එහේ ඉන්න.

මේ ගෙදර ගෙවුන ජීවිතය වටකරගෙනත් මගේ පුංචි මනසේ සිතුවම් ගොඩාක් ඇඳුනා. ඒ මතකයන් හරිම විවිධාකාරයි. සංවේදීයි, විහිළුයි, දුකයි, සතුටුයි, බයයි ඒ වගේම සමහර ඒවා ගුප්තයි. අම්මගෙයි තාත්තාගෙයි අප්‍රහති ධෛර්‍ය නිසාම මේ වෙනකොට අපේ ජීවිත ටිකක් සරලවෙලා තිබුනේ. ඒ කියන්නෙ එහෙමකට කියල දුකක් මේ කාලේ අපිට තිබුනේ නෑ. හැබැයි ඉතින් අම්මගෙයි මගෙයි ජීවිතේනම් ගෙවුනෙ පුදුමාකාර පාලු මූසල ගතියකින්. හැමදාම හවස හය වෙනකොට අපි පටන්ගන්නවා පෙරමඟ බලා සිටීම. තාත්තා එනකල්. මිදුලෙ තිබුනා උසම උස කුඹුක් ගහක්. ඒ ගහේ අත්තකට දාල අපූරු ඔන්චිල්ලාවක් හදලදුන්නා තාත්තා.

ඉතින් හවසට අම්මා ඔය ඔන්චිල්ලාවෙ වාඩිවෙනවා. මාවත් ඔඩොක්කෙට අරං එයා මඟබලං ඉන්නවා තාත්තා එනකල්. ඒ ඉන්න ගමන් එයා මට ලස්සන කතන්දර කියල දෙනවා. එයා ලස්සන සිංදු කියාදෙනවා. ඒ නිසා පුංචි කාලෙ ඉඳලම මගේ කටේම තිබුන සිංදු කිහිපයකුත් තිබුනා.

ආච්චිලා සීයලා, නැන්දලා මාමාලා, අයියලා අක්කලා, කවුරුවත් නැතිව තට්ට තනියම හැදෙන එක ලේසි පාසු කටයුත්තක් නෙවෙයි. ඒක මහ පුදුම තනිකමක්. ඒ තනිකමේ තරම ගෙවුන අතීතෙට වඩා  අතීතෙ සිහිපත් කරන වර්ථමානයේදී මට වැඩි වැඩියෙන් දැනෙනවා.

ළඟ සිටිය යුතු ඥාති පිරිස වෙනුවට ළඟම හිටියෙ අල්ලපු ගෙදර හිටපු අන්කලුයි, ඇන්ටියි. එයාල තරමක් වයසයි ඒ කාලෙත්. අම්මයි තාත්තයිත් ඒ දෙන්නට කිව්වෙ අන්කලුයි ඇන්ටියි. මං කිව්වෙත් ඒකමයි. එයාලට දරුවො කීපදෙනෙක්ම හිටියා. ඒ කාලෙ එයාල ඉස්කෝලෙ යනවා. අම්මා ගෙදර නැතිවෙලාවට මාව අදරෙන් බලාගත්තෙ ඒගොල්ලො තමයි. ඒ අතරින් ටෙක්ලා ඇන්ටි විශේෂයි. එතකොට එයා උසස්පෙල කරනවා. එයා තමයි ළමා කාලෙ මගේ හොඳම යෙහෙළිය. අම්මා පොලට ගියාම, අවශ්‍යතාවකට ටවුමට ගියාම ටෙක්ලා ඇන්ටි තමා මාව බලාගත්තෙ. අදටත් මතකයි මට එයාලගේ කඩුල්ල ළඟ තිබුන ටර්පන්ටයින් ගහ යටට වෙලා අම්ම එනකල් මඟ බලමින් අපි දෙන්නා කන් කන් බූරු..සිං සිං නෝරු.. කරපු හැටි. ඒ ගහේ දිගටි කොලවලින් නලා හදල පිම්බ හැටි. අම්මට හොරෙන් දුවල ගෙදර ගිහින් බිස්කට් සේරම අරන් ඇවිත් අපි දෙන්නත් එක්ක කාපු හැටි. ඉතින් මේ ටෙක්ලා ඇන්ටි තමයි මගේ පළමු යහලුවා. අදනම් ඇය ගොවිජන සේවා නිළධාරිණියක්. අද ඇයට එදා හිටපු මටත් වඩා ලොකු ළමයිනුත් ඉන්නවා. ඒත් අදත් මේ සොඳුරු මිනිසුන් හමුවුනාම අතීතේ මේ රසබර සිදුවීම් කඳුලු පුරෝගෙන අපි මතක් කරනවා.

අංකලුයි ඇන්ටියි මට පුදුම ආදරෙයි. ඒ අයට ඒ කාලේ පොඩි දරුවො හිටිය නැති නිසා මාව එයාලගේ හුරතලා උනා. මේ නිසාම සොරබොර ගෙවුන ළමා කාලය මට එච්චර දුකක් දැනුනෙ නෑ. හැමදාම වගේ මං රෑට කෑවෙ එහෙන්. කොහොමත් දවසම වගේ හිටියෙ එහෙට වෙලා. ඇන්ටිගේ ටකරං වහපු කුස්සියේ සීයෙ බල්බ් එක යටට වෙලා පරිප්පුයි බතුයි කාපු අතීතේට මං පුදුම ආදරෙයි. ඒ කුස්සියෙන් හැමදාමත් ආවෙ හරිම අමුතු සුවඳක්. ඒ සුවඳ බඩගිනි හැදෙන සුවඳක්. වැව් මාලු වේලලා හදන බට්ටො කරවල තෙල්දාලා, පරිප්පුත් එක්ක බොහෝ වෙලාවල මයියොක්කා කොල මැල්ලුමත් එක්ක ඇන්ටි බෙදා දෙන බත් එකේ රහ මේ දැනුත් මට මතක් වෙනවා. ඒ රහ ජීවිතේ කවදාවත් වෙන කිසිම දේකින් මට දැනිලා නෑ.

ඊළඟ ඉරිදා එහේ ගියානම් හොඳයි කියල හිතෙනවා. ඔයාලත් එක්ක මේවා කියනකොට මට ආයෙමත් පෙරේත කමක් ආවා.

ඒ දවස් වල අපි නෑවෙ ඇලෙන්. සොරබොර වැවෙන් ගලාගෙන ආව වතුර. කොලපාටින් ගලාගෙන එන ඇලේ වතුරට වෙලා නානකොට දැනෙන සනීපෙ නාලම බලන්නෝනි. ලියන්න ගියොත් තව මහා ගොඩයි. ඒ නිසා හිතට එන සේරම මේ වෙලාවෙ ලියන්න බෑ. කාලෙ තව තියෙනවානේ. ඉස්සරහට වෙන වෙනම කතා ලියන්නම්.

මේ කාලෙ වෙද්දි මං මොන්ටිසෝරි යනවා. මං අර කලිනුත් කිව්වෙ, මගේ කකුල් කලුවෙයි කියලා තාත්තා කවදාවත් මාව පයින් යැව්වෙ නෑ. ඉතින් උදේට මාව ලෑස්තිකරගෙන අම්මයි තාත්තයි දෙන්නම යනවා. තාත්තා වැඩට යන්න යන ගමන් අම්මයි මාවයි බස් එකට ඇරලවනවා. මං මොන්ටිසෝරි ගියේ පූජානගරෙ සර්වෝදෙට. මහියංගණ පංසල ඉස්සරහා. අදටත් තියෙනවා. පස්සෙ කාලෙ මගේ මල්ලි ගියෙත් එහෙට. කවදහරි මගේ දරුවොත් ඒකටම යයි. දෛවය කොච්චරනම් පුදුමාකාරද. ලොකු ටීච තාමත් ඉන්නවා. තාමත් ඒ විදියමයි. හැමදාමත් ජීවිතේ ගෙවෙන්නෙ හිච්චි එවුන් එක්ක නිසාද මංද මටනම් ඇය එදා විදියමයි. වයස ගිහින් නෑ.

ඔන්න ඉතින් දැන් ලොකු ටීච ගැනයි මගේ මොන්ටිසෝරි ජීවිතේ ගැනයි ලියන්න හිතෙනවා. ඒ නිසා හරිම අමාරුවෙන් මඟඇරලා යන්නම්. කියන්න ආවේ උදේට මොන්ටිසෝරි ගිය හැටිනේ. ඉතින් තාත්ත වැඩට යනකොට ඒ එක්කම මාවත් අරං අම්මත් යනවා. ඉතින් මාව පයින් ඇවිද්දන්නෙ නැතිනිසාම තාත්තා මාව වඩාගෙන තමයි යන්නෙ. සොරබොර ගෙදර ඉඳල මහියංගන බස් ස්ටෑන්ඩ් එකට කිමී දෙකකටත් වැඩියි. ඔය දුරම තාත්තා මාව වඩාගෙන එනවා. ඇවිත් මාව බිමින් තියන්නෙ බස් එකේ පඩිය උඩින්. සීට් තිබ්බොත් මාව සීට් එකක වාඩිකරවලම තමයි ඔහු ආපහු යන්නෙ. එහෙම යන වෙලාවට එයා අම්මට කියන දේ මට මේ දැනුත් ඇහෙනවා.

"නිලූ, පුතාව හවසටත් අමාරුවෙන් හරි කමක්නෑ වඩාගෙනම එක්ක යන්න. අනේ පයින් එක්කන් යන්නෙපා. පේනවනේ කකුල්..රෝසම රෝස පාටයි.."

එදා ඒ වචන වල මට එච්චරම දෙයක් දැනුනෙ නෑ. ඒත් අද මේ වචන මතක් වෙනකොට මට ඇඬෙනවා. මට මගේ තාත්තගෙයි අම්මගෙයි ආදරේ මහමෙරක් වගේ දැනෙනවා. කෙනෙක්ට හිතෙයි මේවා මහා බොළඳ දේවල් කියලා. ඒත් මේ තාත්ත කෙනෙකුගේ අපරිමිත දරු සෙනෙහස.. අම්මා කෙනෙකුගේ අසීමාන්තික දාරක ප්‍රේමය.

ඉතින් මාව මොන්ටිසෝරියට දාන අම්මා මාව ඇරෙනකල් ඉන්නවා එකොළහ හමාර වෙනකල්. මං වගේම මොන්ටිසෝරි එන මගේ යාලුවන්ගෙ අම්මලත් එක්ක ඇය ඉන්නවා මාව ඇරෙනකල්. මේ ගොඩක් දවස් වල ඇය උදේට කාල එන්නෙත් නෑ. මොකද කන්න වෙලාව මදි. ඒ කියල කඩෙන් කන්න ඈට සල්ලි තිබුනෙත් නෑ. නොතිබුනාම නෙවෙයි, ඇය එහෙම වියදම් කලේ නෑ. මේ නිසාම ඇය ගෑස්ට්‍රයිටිස් රෝගියෙක් උනා. අදටත් ඇය ඒ රෝගෙන් පීඩා විඳිනවා. ඒ මං නිසා. මට උගන්නන්න ඇය කරපු කැපකිරීම් නිසා. රජයේ හොඳ රැකියාවක් කරන්න ඇයට ලැබුන අවස්ථා කිහිපයක්ම ඇය මඟහැරියේ, ඇය විස්වාස කලා ඇයත් රැකියාවකට හිර උනොත් මට හොඳට උගන්නගන්න, මාව යහපත් මනුෂ්‍යයෙකු කරන්න ඇයට බැරිවෙයි කියලා. ඕනිතරම් අධ්‍යාපන සුදුසුකම් තියෙද්දිත් ඈ ගෙදරටම සින්න උනේ මං ගැන හිතලා. මං වෙනුවෙන්. ඇය ඉතාම හොඳ ගුරුවරියක්. ශිෂ්‍යත්වය වෙනුවෙන් අනිත් අම්මමා එයාලගේ දරුවො රට වටේ ටියුෂන් එක්ක යද්දි මගේ අම්මා මාව කොහෙවත් නොයවා මට උගන්නව්වා. මං ඉතාම ඉහළින් විභාගෙ පාස් උනා. ඕලෙවල් දක්වාම ඇය මට ඉගැන්නුවා. ඒ දවස් වල හවසට අපේ ගෙදර තනිකරම ටියුෂන් එකක් වගේ.

ඉතින් මොන්ටිසෝරි ඇරුනම අපි ගොඩක් වෙලාවට මහියංගනේට එන්නෙ ඒ වෙලාවට එතනින් යන මහියංගන බදුල්ල බස් එක, චාන්දනී ට්‍රැවල්ස් බස් එකේ. ඒක දම් පාට හරි ලස්සන බස් එකක්. අදනම් ඒ බස් එක නෑ. ටවුමෙන් බැහැල තාත්තා කිව්ව විදියටම අම්මා මාව ගෙදරටම වඩාගෙන එක්ක එන්නෙ. ඒ එන මඟ ගෙවල් කිට්ටුවම වගේ කඩයක් තියෙනවා. අපි කිව්වෙ කජු ගහ යට කඩේ කියලා. ඔය කඩෙන් අම්මා මට යෝගට් එකක් අරන් දෙනවා. පරණ සිසිල් ෆ්‍රිජ් එකකින් අරන් දෙන ඒ මහවැලි යෝගට් එකේ රහ, සුවඳ මේ දෑනුත් මට දැනෙනවා. ඒ රහ අද වෙන තුරු වෙන කිසිම කඩේක කිසිම යෝගට් එකකින් මට ආයෙ දැනිලා නෑ.


ආයෙත් අතීතෙට. ඔන්න ඔහොම කාලෙ ගෙවුනා.ඔය අතරේ තාත්තා එයාගෙ පළවෙනි "වාහනේ" ගත්තා. ඒක බයිසිකලයක්. කඩේට ගිහින් අලුතින්ම ගෙනාපු දිලිසෙන එකක් නෙවෙයි. එයා වැඩකරපු ගරාජ් එකේ වීසිකරල දාල තිබුන බයිසිකල් ෆ්‍රේම් එකක් හොයාගෙන ඒකට අනිත් අඩුම කුඩුම ටිකත් සෙට් කරලා එයාම හදාගත්ත එකක්. ඉතින් එතනින් පස්සෙ නම් එයාට වැඩට යන එන එක ටිකක් ලේසි උනා. මට මතකයි, ඉස්සර තාත්තාත් එක්ක බයිසිකලේ නැඟලා මායි අම්මයි තුන්දෙනාම එහෙ මෙහේ ගිය හැටි. ඒවනම් ඇස්වලාට කඳුලු උනන පුදුමාකාර මතකයන්.

කාලෙකට සොරබොර වැව හිඳෙනවා. ඒ කාලෙට ඇලේ වතුර නෑ. අපි නාන්න යනවා මහවැලි ගඟට. දවසක් අම්මයි මායි නාලා ගෙදර එනවා. ඒ එනකොට තාත්තා වැඩ ඇරිලා බයිසිකලෙන් ගෙදර එනවා. අපිව මගදි හම්බ උනේ. ඉතින් එයා අපිවත් බයිසිකලේ නංගගත්තා. අම්ම පිටිපස්සෙ ලගේජ් එකේ. මං ඉස්සරහා බාර් එක උඩ. ඉතින් ඔහොම එනකොට එකපාරටාම මගේ කකුලක් වේගයෙක් කැරකෙන ඉස්සරහ රෝදෙ ස්පෝක් කූරු අතරෙ හිරවුනා. කකුල ඇඹරිලා ගියා. තුන්දෙනාම වැටුනා. මගේ කකුල හොඳටම තුවාල වෙලා ඇඹරිලා ගිහින්. මං අඬනවා හොඳටම. ඒත් ඊටත් වඩා අඬපු කෙනෙක් හිටියා. ඔව් ඒ මගේ තාත්තා. එයා අඬනවා හොඳටම. වටේ පිරුණ මිනිස්සුන්ටත් පුදුමයි. මගේ තාත්තා කියන්නෙ කලු ගලක් වගේ හයිය හිතක් තියෙන මිනිහෙක්. ඒ ඇස්වල කඳුලක් ඉණුවේ එහෙමත් කලාතුරකින්. පිදුරුතලාගල කන්ද වගේ සවිමත් මනුස්සයෙක්. මහා පුදුමාකාර දරාගැනීම ශක්තියක් තිබුනා, යකඩෙන් හැදුන මනුස්සයෙක්. එහෙව් තාත්තා එදා ඉකි ගගහ ඇඬුවා. කකුල් කැතවෙයි කියල මාව පයින් නොයවපු තාත්ත පොඩිවෙලා ලේ ගලන මගේ කකුල දිහා බලං ඉන්නෙ කොහොමද. අදටත් ඒ සිදුවීම මතක් කරන්නෙ ගොඩක් අමාරුවෙන් මං.

සොරබොර කුලී ගෙදර ගෙවුන මගේ ළමා කාලයත් මට මතකයන් ගොඩක් ඉතිරිකරපු සොඳුරුතම නවාතැනක්. අදටත් සොරබොර වැව පාරෙ යන ඔබට සොරබොර පාරට හැරෙන හංදියේ ඉඳලා කිමී දෙකක් විතර ගියාම පාර අයිනෙම දකුණු පැත්තෙන් තියෙන ඒ නිවස දකින්න පුලුවන්. අදනම් ඒකෙ කවුරුත්ම පදිංචි නෑ. ඒ ලස්සන මගේ ගෙදර එන්න එන්නම ගරාවැටෙනවා දැන්.

ඉකමනට ඉවරකරන්න බලන්නම්. ඉතින් මේ අතරේ ආයෙමත් අපේම කියල ඉඩමක සුවඳ අපේ හදවත් වලට සමීප උනා. මහියංගන-පදියතලාව පාරෙ, මහියංගනේ ඉඳල කිමී තුනක් විතර දුරින් 47 කණුවෙ තිබුන ඉඩමක් ගැන තාත්තගේ කණට වැටිලා තිබුනා. මිලත් බොහොම අඩුවට. ඉතින් අම්මයි තාත්තයි ඉඩම බලන්න ආවා. දම්බරාව වැව පාවුල තිබුන බොහොම ලස්සන ඉඩමක්. ඉතින් දෙපාරක් හිතුවෙ නෑ තාත්තා ගත්තා ඒ ඉඩම. ඔන්න සංධිස්ථානය. මං මේ දැන් අකුරු ලියන්නත් ඒ පිං බිමේ ඉඳලයි.

ක්මනට වැඩ පටන්ගත්තා. කාලයක් මේ පළාතෙ අපිත් දැන් පුරුදුකාරයෝ නිසා හොඳ යාලුවෝ පිරිසක්, මිනිස්සු පිරිසක් හිටියා අපි වටේ. ඒ නිසා වැඩ ටික ලස්සනට කෙරුණා. බොහෝම ඉක්මනින් ලස්සන ගේ පොඩ්ඩ්ක් හදාගත්තා. මට තාම මතකයි..සොරබොර ගෙවපු අන්තිම දවස.. එදා පාන්දර පහට අම්මා මාව ඇහැරවලා මාව ලෑස්තිකලා. එදා දත් මදිනකොට හරිම ලස්සනට, පහන් තරුව පායලා තිබුනා. අම්මා මට ඒ ගැන කියල දුන්නා. ඒ නැවුම් දවසෙ අපි අලුත් වාසස්ථානෙට ආව පදිංචියට.

එතනින් එහාට ජීවිත මංපෙතේ මල් පිපුණා. පාර ලස්සනට හැදිලා තිබුනා. ජීවිතේ පියවරින් පියවර ඉස්සරහට ගියා. හැම දේම මෙතන ලියන්නෙ නෑ මේ වෙලාවේ. කෙටියෙන් කියන්නම්. මේ වෙනකොට මං එක වසරේ. ඒ කියන්නෙ ඉස්කෝලෙ යනවා.

කාලය වේගෙන් ගෙවුනා වසර ගනනාවක්. ඔය අතරෙ මල්ලිත් අපි අතරට ආවා. 

ඔයාලට මතකද ඉස්සරම දවසක්... මගේ අම්මට මාව ලැබෙන්න ඉන්න කාලේ.
අර පාං ගෙඩියෙ සිද්දිය.

එතනදි මං ඔයාලට නොකියපු දෙබසක් තිබුනා. ඇත්තටම ඒක ඒ දෙන්නගේ රහසක්. ඒකයි එතන නොකීවෙ. දැන් තමයි ඒක කියන්න හොඳම වෙලාව. අන්න එදා.. දරාගන්න බැරි දුකින් ඒ දෙන්නා එකිනෙකාට තුරුල්වෙලා අඬාවැටුණ එදා මගේ තාත්තා මගේ අම්මට පොරොන්දුවක් දීලා. ඇය ඒ පොරොන්දුව අධිෂ්ඨානයක් කරගෙන. එදා මගේ තාත්තා අම්මට මෙහෙම කිලය තියෙනවා.

"නිලූ..මං මැරෙන්න මොහොතකට කලින් හරි ඔයාට ඔයාගෙම කියලා ගරාජ් එකක් මං දාල දෙනවා."

ඔන්න ඔහොමයි කියල තියෙන්නෙ. ඉතින් මගේ තාත්තා ඒ පොරොන්දුව ඉෂ්ඨ කලා. මගේ අම්මගේ අධිෂ්ඨානය මල්පල ගැන්වුනා. ඔව් තාත්තා, තාත්තගේම කියල ගරාජ් එකක් විවෘත කලා. ඉතින් ඔහු ඔහුගේම ව්‍යාපරයක හිමිකරුවෙක් උනා. ඇය ගරාජ් හිමියෙක්ගේ බිරිඳක් උනා. ඒ ලස්සනම දවසේ, අවුරුදු 10ක් වින්ද දුක් තුනී වෙනකල් ඒ දෙන්න සතුටු කඳුලු හෙලුවා. අන්න එදා මගේ තාත්තා මගේ අම්මට තවත් පොරොන්දුවක් දුන්නා.

"නිලූ..ඔන්න මං ඔයාට මීට අවුරුදු 10කට කලින් වෙච්ච පොරොන්දුව අද ඉෂ්ඨ කලා. මං අද ඔයාට තව පොරොන්දුවක් දෙනවා. මේකනම් මට මැරෙන්න කලින් කරනවා කිලය කියන්න ඕනිවෙන්නෙ නැතිවෙයි. මගේ ඊළඟ හීනෙ තමයි ඔයාට කාර් එකක් අරන්දෙන එක"

ඉතින් මේ හීනෙත් අම්ම එයාගෙ අධිෂ්ඨාන මල්ලට දාගත්තා. කිව්ව වගේම තාත්තා ඒ හීනෙත් ඊට අවුරුදු 10කට පස්සෙ ඉෂ්ඨ කලා.

මං දන්නෙ නෑ මේවා බ්ලොග් වල ලියන්න හොඳද නරකද කියලා. ඔයාල මාව කොහොම තේරුම් ගනීද කියලා. ඒත් මට මේ පටන්ගත්ත කතාව ඉවරකරන්නෝනි.

ඉතින් ඔන්න ඔය විදියට අපේ ජීවිත සාර්ථක උනා. ඒ මගේ තාත්තගේ අප්‍රතිහත ධෛර්‍යයෙනුත්, මගේ අම්ම තුල ජීවත් උන ශ්‍රේෂ්ඨ කළමණාකාරවරියගේ උත්සාහයනුත්. අද මගේ තාත්තා එයාගේ කාර් එක පදවගෙන මීට අවුරුදු විසිගානකට කලින් අතේ සතයක් නැතිව හිඟන්නෙක් වගේ රස්සාව හොයාගෙන ගිය ගරාජ් එකටම යනවා කාර් එකේ මිකෑනික් රෙපයාර් වලට. ලොකු බාසුන්නැහේ අදත් එදා වගේම ඉන්නවා. හැබැයි කාර් එකෙන් බැහැල ලොකුබාසුන්නැහේ ළඟට යන්නෙනම් ආඩම්බර සලුපිළි පොරවගෙන මාන්නෙන් හිස උදුම්ම්මාගත් පණ්ඩිතයෙකු නොව, එදා ඈත අතීතයේ හැන්දෑවට දෙකට තුනට නැවිල ඔළුව කසමින් රුපියල් හැත්තෑපහක් ඉල්ලගන්න ගියපු දුප්පත් තරුණයා විදියටමයි. ලොකුබසුන්නැහේට මගේ තාත්තා එදා දක්වපු ගෞරවය අදත් නොඅඩුවම ඔහුළඟ තියෙනවා. අදත් සිංහල අවුරුද්දට තාත්තා බුලත් අතක් අරන් යනවා ඔහුට කතාකරන්න. කාර් එකේ වැඩක් ඉවරවෙලා ට්‍රයල් එකක් යනකොටවත් තාත්තා අදත් පැකිලෙනවා ඔහු සමඟ ඉදිරිපස අසුනේ එකට ඉඳගෙන යාමට.

මටනම් හිතෙන්නෙ ඔහුගේ මේ තිබුන අති ශ්‍රේෂ්ඨ මානුෂීය ගුණාංගයන් තමයි තාත්තාගේ දියුණුවේ රහස. ඉතින් මේ විදියටම ඒ වයසක ලොකුබාසුන්නැහෙත් තාත්තට සලකන්නෙ තමන්ගෙම දරුවෙකුට තරම් සෙනෙහසින්. තාත්තා කෙනෙක් තමන්ගෙ පුතාට දක්වන ආදරය මට ඔහුගේ දෑසින් පේනවා.

හ්ම්.. මට හිතෙනවා දැන් මේ කතාව ඉවරකරන්න කාලය ආවා කියලා. කොහොමත් මේ මහියංගනේ පුරාවට මට තියෙන්නෙ මගේ අතීත පියසටහන්. එදිනෙදා ජීවිතයේ දකින හැම සිදුවීමක්ම මාව අරන් යන්නෙ මගේ අතීතයට. පහුගිය දවසක මං බයික් එකේ යනකොට මං දැක්ක දසුනකින් මගේ යටි හිත හඬා වැටුණා. ළමුන් දෙදෙනෙකු හා තම දයාබර බිරිඳ සමඟ පාපැදියක් නැඟී යන තරුණ පියෙක් මං ගියපු පාරෙම මගේ ඉස්සරහට ආවා. අනේ එකපාරටම පාරෙ තිබුන වලකින් බයිසිකලේ වැටුනා. ඒ ගැස්මට අර අම්මා බයිසිකලෙන් බිමට වැටුනා. ඇගේ නිකට තුවාල වෙලා ලේ ගලන්න ගත්තා. අකුණක් ගැහුවා වගේ මගේ හිත දුවලා ගියේ එදා මගේ තත්තා මාවයි අම්මයි එක්ක බයිසිකලේ යද්දි මගේ කකුල ස්පෝක් කම්බි අස්සෙ ගිහින් අපිව ඇදගෙන වැටුන සිදුවීම වෙතටයි. ඉතින් මං මොහොතකටවත් පැකිලුනේ නෑ ඒ අහිංසක යුවලට උදවුකරන්න.

කාරෙකේ මං යද්දි පාර අයිනෙ බස් එකට ඉන්න මනුස්සයෙක්ව නංගගන්න මට කවුරුත් කියල දෙන්නෝනි නෑ. වැහි දවසක මං පාරෙ යනකොට මගේ වාහනේ රෝදවලින් වීසිවෙන මඩ පාරවල් ගැන මට කවුරුවත් කියල දෙන්නෝනි නෑ. මොකද මං පුංචි කාලෙ වැහි දවස් වල පාරෙ ගිය කාර් වලින් ඕනි තරම් මඩ වතුර නාල තියෙනවා. දූවිලි පාරවල් වල මං වේගෙන් වාහනේ පදවගෙන ගියොත් මට පිටිපස්සෙන් පාරෙ ඉන්න මිනිස්සුන්ව දූවිල්ලෙන් නෑවෙන බව මට කවුරුත් කියල දෙන්නෝනි නෑ. කියන්න ගියොත් මේ වගේ තව මහ ගොඩයි. මගේ ජීවිතේ මං පාඩම් ඉගෙනගත්තෙ මගේ අතීතෙන්. අපේ දුප්පත් කමෙන්.

මං පොලොවෙ පය ගහල ඉන්න මනුස්සයෙක් කරපු ඒ සුන්දරතම අතීතෙට මං මගේ පණටත් වඩා ආදරෙයි. අපි බිංදුවෙන් නැඟිටපු මිනිස්සු. ඒ නිසා මේ දැන් අපි ආයෙමත් බිංදුවට වැටුණත් අපිට කිසි ප්‍රශ්නයක් නෑ. මොකද දුක් විඳින්න අපිට අමුතුවෙන් ඉගෙනගන්න ඕනි නෑ. අදටත් අපි මහා සල්ලි කාරයෝ නෙවෙයි. හරිම සරල දුප්පත් මිනිස්සු. ඒකයි අදත් මගේ තාත්තා වැල්ඩිං ගහන්නෙ. අනුන්ගේ වාහන යට රිංග රිංග ඒවල ඉරුණු තැන් පාස්සන්නෙ. මෙන්න මේ පම්පෝරියත් පොඩ්ඩක් ගහන්නම්. අදටත් නුවරින් මෙහාට, බදුල්ලෙන් බිබිලෙන් මෙහාට, දෙහිඅත්තකණ්ඩියෙන් මෙහාට, අම්පාරෙන් මෙහාට ඉන්න හොඳම වෑද්දුම් ශිල්පියා මගේ තාත්තා. හැබැයි තියෙන්නෙ නම් බොහොම පුංචි ගරාජ් එකක්.

වැඩක් නැතිවෙලාවට ඒක ගරාජ් එකක්ද කියල හිතාගන්නත් බෑ. මොකද මං හදල දීපු ඩිජිටල් බෝඩ් එකත් මේ ළඟදි හුළඟට ගැලවිලා ගිහිල්ලා.

මේ ළඟදි මං වැඩකරපු තැන මගේ යාලුවෙක් මට මෙහෙම කිව්වා. උඹ මහ පුදුම මිනිහෙක් බං. උඹ වෙලාවකට කාර් එක එලවගෙන යනවා. තව වෙලාවක බයික් එකේ යනවා. හිටපු ගනක් කිලෝමීටර් ගනන් ගිනි අවුවෙ පයින් යනවත් මං දකිනවා.

ඉතින් ඒ තමයි මගේ හැටි. ඒ තමයි මං ලබපු පන්නරය. ඒ තමයි මගේ අතීතයෙන් මං ලබපු දායාදය. මට ඕනි දුරක් පයින් යන්න පුලුවන්. කන්න දෙයක් නැතිවුනොත් ගහක හැදෙන කොස් ගෙඩියක් තම්බගෙන හරි ජීවිතේ ගැටගහගන්න පුලුවන්. ඉස්සර මං ඉස්කෝලෙ දෙකේ පංතියේ විතර ඉන්න කාලෙ අපිට ටීවී තිබුනෙ නෑ. ඒත් පංතියේ මගේ යාලුවන්ගෙ ගෙවල් වල තිබ්බා, උන් හැමදාම රෑ අට හමාරෙ කතාව බලල ඇවිත් ඒ විස්තර පංතියේ කතාවෙනවා. ඉතින් මං පුලුවන් තරම් මඟ ඇරලා ඉන්න බලනවා. මොකද එව්වා ගැන කතාකරන්න එව්වා බලන්න මට ටීවී නොතිබුන නිසා. ඒ කාලෙ මට තිබිච්ච පුංචි මනසත් එක්ක මට එයාලට කියන්න ලැජ්ජයි ගෙදර ටීවී එකක් නෑ කියලා. ඒ නිසාම බැරිම අවස්ථාවක එයාලගෙන්ම අහුලගත්ත කෑලි දෙක තුනක් කියල මාත් ඒ කතා බලපු ගානට රඟපාපු අවස්ථා අනන්තයි ඒ පුංචි ජීවිතේ. ඉතින් මෙහෙම ගමනක් ආපු මට අද සාර්ථකත්වයේ හිනිපෙත්තෙ හිටියත් අදටත් හැමදාටමත් උලත් එකයි, පිලත් එකයි.

කොහොම උනත් පුංචි කාලෙ ඉඳලම ඥාති හිත මිත්‍රාදීන්ගෙන් දුරස් වෙලා පවුලෙ හතර දෙනා එක්ක විතරක් ගෙවුන පාලු හුදෙකලා ජීවිතයක් මට තිබ්බා හින්දද මංද අදටත් මං වඩා ප්‍රියකරන්නෙ තනියම ඉන්න. ඒ කිව්වෙ මං මගේ ජීවිතේට කෙනෙක්ව ලංකරගන්නෙ එහෙමත් වෙලාවක විතරයි. ඒ නිසාම මගේ ලෝකෙ මට සමීපතමයන් අදටහ් ඉන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. ඒ මාව තේරුම් ගත්ත මං වගේම අය. මං එහෙම හදාගත්ත මගේ ලෝක සීමාවෙන් ඇතුලට කෙනෙක්ව ලේසියෙන් ගන්නෙත් නෑ මං. පාලුවට මං අදටත් හරිම ආදරෙයි. පුංචි කාලෙ ඉඳලම අම්මයි තාත්තයිත් මාව ගෙදරම හදපු නිසා වෙන්නැති සමාජානුයෝජනය මගෙන් ගොඩක් ඈතයි. මේවා මගේ අඩුපාඩු. මං උත්සාහ ගන්නවා ඒවා නිවැරදිකරගන්න.

කොහොම හරි රුපියල් තුන්සීයකුයි, ඇඳුම් බෑග් එකකුයි අරන් නුහුරු බිමට පයගහපු මගේ අම්මගෙයි තාත්තගෙයි මේ කතාව තමයි මං මගේ ජීවිතේ අහපු හොඳම සාර්ථකත්වයේ කතාව. මේ තම්යි මගේ ජීවන පරමාදර්ශය.

ඉතින් ගී සංවේදනාවලින් ගොඩක් ඈතට යන්න මට සිද්ධ වුනා. ඒත් මං ඒකට කැමති නෑ. ඒ නිසා මේ වගේ දේවල් මෙච්චර දිගට ආයෙ මේ බ්ලොග් එකේ නොලියවෙයි. ගී සංවේදනා, ගීත විචාර කියවන්න ආව ඔබට මේ වෙච්ච අලකලංචියට සිය දහස්වාරයක් මං සමාව ඉල්ලනවා. රජ මැදුරක ගීතයට සංවේදනාවක් ලියන්න ගිහිල්ල තමයි මේ හැමදේම උනේ.

කොහොම උනත් මගේ අම්මයි තාත්තයි වෙනුවෙන් මං මේ ගීතය මෙතන ලියලා තියන්නම්. මං හිතනවා මහපොලොවෙ පයගහලා, කාටවත්ම අතනොපා තමන්ගේම වෙර වීරියෙන් ගොඩනැඟුනු මගේ අම්මටයි තාත්තටයි මේ ගීතය උපහාරයක් වෙයි..




අවසන් හුස්ම පොද නොබියව හෙළන්නට
සිවු  රියනේ  හිත  සතුටින් නිදන්නට
මිනිසකු  විලස  ඉපදුණු  පල දකින්නට
පුළුවනි  මරණ   මංචකයේ   වුවද මට

දහදිය දිය උනේ නෑ මාලිගාවල
කඳුළැලි වැටුනෙ නෑ නිවටුන් දෙපාමුල
ගත හැඩි දැඩි උනේ ළඳුවල කැලෑ වල
කරගැට මතු උණේ නගුලට උදැල්ලට

මහ කෙත් රණ බිමට වැද  ගෙන  උදලු කෙටී
මේ රළු පොළොව ජය ලැබුවෙමි වැතිර වැටී
ඒ ජය මට නොවෙයි නුඹටයි ඉපිද නැතී
අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී

පද රචනය : සුනිල් ආරියරත්න
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : අබේවර්ධන බාලසූරිය


(Awasan Husma Poda - Abewardana Balasooriya)







(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Sunday, July 6, 2014

•රජ මැදුරක ඉපදී සිටියානම්

"හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ..."






මේ මගේ සිත අදින් වසර විසි ගනනක් ඈතට දිව ගිය අවස්ථාවකි. මතකය එහි උපරිම කෙළවර දක්වා මාව සොඳුරු ගමනකට කැඳවාගෙන යයි. කතාවේ පෙර කොටසේ ඔබට හඳුන්වාදුන් තරුණ යුවල දිවිගමනේ තවත් සාර්ථක වසර කිහිපයක් ගෙවා දමා ඇත. එම කෙටි කාලය තුලදී ඔවුන් දිගු ගමනක් පැමිණ තිබුනි. ඔවුන්ගේ කිරිකැටියා තිළිණ වී ටික කලක් ගතවෙත්ම තමන් කුලියට ගෙන සිටි කඩකාමරය කෙසේවත් තම බිළිඳු සඳහා නොගැලපෙන බව දෙදෙනාම තේරුම්ගත් පසු, දයාබර පියාණන් දැඩි වෙහෙසක් ගත්තේ කෙසේ හෝ තරමක් හෝ හොඳ නිවසක් කුලියට ලබාගැනීමේ අරමුණෙනි.

නමුදු ඔවුනට සරිලන මට්ටමේ නිවසක් සොයා ගැනීම පහසු කටයුත්තක් වුනේ නෑ. අන්තිමේදී කුලියට ගෙවල් හෙවිල්ලෙන් ඔවුන් හෙම්බත් උනා. මේ අතර ගරාජයේ තමන් සමඟ වැඩකරන මිතුරෙක් ඔහුගේ කනේ හරි අපූරු ආරංචියක් තියනවා. ඒ ආරංචිය ඔවුන්ව නැවුම් බලාපොරොත්තු ගොන්නකින් පිරෙව්වා. ඒ තමයි මහියංගන ගම් උදා භූමියේ තියෙන ඉඩමක් ගැන. අඩුගානකට විකුණන්න තියෙන ඉඩමක් ගැන. ඒ කියන්නෙ තමන්ගෙම කියල තැනක්! ඉතින් දෙන්න තීරණය කරනවා කොහොමහරි ඒ ඉඩම මිලට ගන්න. ඒත් කෝ සල්ලි? ගාන පොඩි උනත් මේ දෙන්නටනම් ඒක ලොකුම ලොකු ගානක්.

මේ කතාවෙ තරුණයා, එහෙම නැත්නම් දැන් ඔයාලා හැමෝම දන්න පරිදි මගේ තාත්තා, තාත්තලාගෙ පවුලෙ බාලයා. බාලයා නිසාම පුංචි කාලෙ ඉඳලම ඔහුට අම්මා තාත්තා කියපු දෙයක් තිබුනා. 

"පුතේ උඹ පවුලෙ බාලයා, කවදහරි මේ වතුපිටි , ගෙවල් දොරවල්, දේපල සේරම උඹට. ඒනිසා අයියලාට ඉගෙන ගන්න අරිමු. උඹ දැන් ඉඳලම මේ දේවල් බලාහදා ගෙන ඉඳහන්. උඹ ඒ හැටි ඉගෙන ගන්නෙ මොකටද."

ඔන්න ඔහොමයි කියල තියෙන්නෙ. ඉතින් මේ විදියට කියලා අක්කර සිය ගානක් වෙච්ච කුඹුරුවල, දුම්කොල බාම් එකේ, වැඩකරන්න උනේ තාත්තාට. තමන්ගෙ ලස්සන ළමා කාලය තරුණ කාලයා ඔහු ගෙවා දැම්මෙ කුඹුරෙ මඩත් එක්ක ඔට්ටුවෙන්න.
ලඳු ඕවිටි කැලෑ මැද හරක් බලාගන්න. තවලම් අරන් යන්න. ඒ තමයි ඔහුගේ සොඳුරු ළමා විය. 

ඒත් ඔහුට බලාපොරොත්තුවක් තිබුනා. ඒ කවදාහරි තමන්ගෙ තාත්තාවගේම ආඩම්බරෙන් මේ හැමදේකම අයිතිය දරාගෙන ජීවත් වෙන්න. 

ඒත් කවදාවත් එහෙම උනේ නෑ. 

බෝඩිං වල නවත්තල ඉහල කොලීජි වලට යවපු තමන්ගෙ වැඩිමහල් සහෝදරයෝ හොඳට ඉගෙන ගත්තා. හමුදාවෙ පොලීසියේ උසස් තනතුරුවලට ගියා. සමහරු උපාධිය අරං ඉස්කෝල ගුරුවරු උනා. ඒ හැමෝටම වියදම්කරන්න, තමන්ගෙ ළමා කාලෙ, තරුණ කාලේ ශ්‍රමය සමඟ දියකර හැරපු තාත්තට දෙමවුපියන්ගෙන් කියල කිසි දෙයක් ලැබුනේ නෑ. දෙනවා කිව්ව කිසිම දෙයක් දුන්නෙ නෑ.
හැම දෙයක්ම ලැබුනේ අර උගත් බුද්ධිමත් මහත්වරුන්ට. මහ ගෙදර පවා. 

එකම එක දෙයක් ලැබුනා තාත්තට. පංසල් වලට පවා ඉඩම් පූජා කරපු තාත්තගේ තාත්තා, මගේ තාත්ටට දීල තිබුනා අක්කර දෙකක කුඹුරු කෑල්ලක්. ඒ පැත්තෙ මිනිස්සු ඒ කුඹුරට කිව්වෙ හඳට මැරෙන කුඹුර කියලයි. ඒ තරම්ම කන්දක් උඩ තමයි ඒ කුඹුර තිබුනෙ. 

ඔය සියලු නොලැබීම, අහිමිවීම කළකිරීම් සමඟිනුයි ඔහු එක් තීරණාත්මක දිනයක ගෙදරින් පිටවෙලා තමන්ගේ ජීවිතේ අලුතින් හොයාගෙන යන්නේ. ඒ ගමන් මඟ තුලිනුයි අනර්ඝ වෑද්දුම් ශිල්පියෙක් බිහිවෙන්නෙ.

මං මේ කියන්න හැදුවෙ අර මුලින් කීව ගම් උදා භූමියේ ඉඩම මිලට ගන්න මේ දෙන්නට පාර කැපෙන විදිය ගැනයි. ඉතින් මේ දෙන්න තීරණය කරනවා තමන්ට කිසිම වැඩක් නැති අර ගමේ තියෙන තමන්ට කියල දූන්න එකම ඉඩම් කෑල්ල, අර හඳට මැරෙන කුඹුර විකුණලා දාන්න. ඒ විදියට ඒ ඉඩම විකුණලා ඔවුන් තමන්ට අවශ්‍ය මුදල හොයාගන්නවා. 

ඒ විදියට මේ ආදරණීය යුවල මහියංගනේ තමන්ගෙ මුල්ම වත්කම තහවුරු කරගන්නවා. රුපියල් තුන්සීයක් විතරක් අතේ තියාගෙන මේ නුහුරු නගරෙට පය තිබ්බ දෙන්න අවුරුදු තුනක් යනකොට තමන්ටම කියල බිම් කොටසක් මේ පෘථිවියෙන් අත්කරගන්නවා.

ඔය විදියට ගත්තු ඉඩමේ තමන්ටම කියල ගේ පොඩ්ඩක් අටවගන්නෙක තමයි ඊළඟ අභියෝගය උනේ. කොහොම හරි, කුඩාකල සිට එකටම හැදී වැඩුණු සුන්දරේ නම් තාත්තාගේ ඥාති සොහොයුරා හා එක්ව මෝඩ ගඩොල් මැටියෙන් එකිනෙක බැඳ අහිංසක ගේ පොඩ්ඩක් දෙතුන් දෙනාගෙම හයියෙන් ගොඩනඟා ගන්න මේ දෙන්නට හැකිවෙනවා. එකල යන්තම් ඇවිදින වයසේ පසු වූ මා, මැටි නාමින් මෝඩ ගඩොල් බිත්ති බැඳීමට එකතු වූ අයුරු සුන්දරේ බාප්පා  අදටත් අප එකතු වූ අවස්ථාවන් හීදී අපරිමිත සංතෝශයකින් නිතරම මතක් කරයි. "චච්චු" ඒ තමා කුඩා මගේ සවනට මැටි ගැටෙන හඬ ඇසුනු ආකාරය.

එනිසා මැටි ගසමින් බිත්ති බැඳි සුන්දරේ බාප්පා මට චච්චු බාප්පා නම් විය. ඔහුද අද පවා මා දකින විට ආදරයෙන් "චච්චු" කියා මට ආමන්ත්‍රණය කරනුයේ අපරිමිත දයාබරත්වයකිනි.

කාලය හෙමිහිට ගතවුනා. උදේට තාත්තා වැඩට ගියවිට හුදෙකලා වුනු මාත් මගේ අම්මත් හවසට ආයෙත් තාත්තා එනතුරු පාලුවට පෙම් බඳිමින් හිටියා. අපේ කියල කාත් කවුරුත් අපි ළඟ නොහිටපු ඒ කාලේ මට මගේ මුළු ලෝකයම උනේ අම්ම විතරයි. අම්මගෙනුයි, තාත්තාගෙනුයි එපිටට ගිය වෙනත් ලෝකයක් තියෙනවාද කියලවත් මං දැනං උන්නෙ නෑ. අම්මටත් එහෙමයි. නාඳුනන ආගන්තුක පළාත් නිසා කිසිම කෙනෙක් ඕනිවට වඩා විස්වාස නොකර සිටීමට මගේ අම්ම පුරුදුවෙලා හිටියා. ඒ නිසාම කාත් සමඟවත් කිසිදු සමීප ඇසුරක් අපිට තිබුනෙ නෑ. අපිට තිබුනෙ හුදෙකලා ලෝකයක්. ඒ ලෝකෙ හිටියෙ අපි තුන්දෙනා විතරයි. අම්මයි, තාත්තයි, මමයි.

මේ මං ළඟා වුනේ මගේ මේ ජීවිතයේ මතකයේ අන්තිම කෙළවරට. ඒ කියන්නෙ පටන්ගැන්මට. මෙතැන් සිට ලියවෙන දේවල් මං අහපු දේවල් නෙවෙයි. මට මතක දේවල්. අපි හිටපු ගම් උදා භූමියේ තිබුන ගමට කිව්වෙ වගාව කියලා. ඒකට වගාව කියන්නෙ ඇයිද කියලනම් මං අදටවත් දන්නෙ නෑ. කොහොමහරි මේ ගම අසලින්මයි මහවැලි ගඟ ගලාගෙන ගියේ. ඒ නිසා ගමේ මිනිස්සුන්ගෙ ලොකුම සම්පත් උනේ මහවැලි ගඟ. මිනිස්සු නාන්න පාවිච්චි කලේ ගඟ. බොන්න වතුර ගත්තෙත් ගඟෙන්. බොහෝ දෙනෙක්ගෙ ජීවිකාව උනෙත් ගඟ. ඒ කිව්වෙ වැලි ගොඩ දැමීම.

හිටියෙ බොහොම නූගත් පිරිසක්. කුමක් හෝ වැඩක් කර හවසට කීයක් හරි අතට ගන්න මොවුන් මීළඟට හම්බුන තුට්ටු දෙක වියදම් කලේ කසිප්පු වලට. ඒ නිසාම හවස හයෙන් පස්සෙ මුලු ගමම අසූචි ගොඩක් කිව්වොත් වඩා නිවැරදියි.

කොහොම උනත් ගඟ සම්බන්ධයෙන් මට තියෙන්නෙ කවදාවත්ම අමතක නොවන මතකයන් පෙළක්. කොච්චර එපා කිව්වත් අම්ම කලෙත් අරන් වතුර ගේන්න ගඟට යනකොට බොහෝ වෙලාවලදි මාත් ඒ පස්සෙන්ම යනවා. මොකද ගඟේ වතුර කලේට එකතුකරග්න්න විදිය නට හරිම ආස හිතෙන දෙයක්. ගඟට බහින තැනින්ම බොන්න වතුර ගන්නෙ නෑ. ගඟේ මැදට වෙන්න තැනින් තැන තියෙනවා

වැලි වලින් සැදුනු කුඩා දූපත්. ඉතින් බොන්න වතුර ගන්නවනම් ඉස්සෙල්ලාම මේ දූපතකට යනවා. ඊළඟට අඩියක් පමණ ගැඹුරට වැල්ලෙ වලක් හාරනවා. මෙහෙම හාරනකොට ඉතාම සුලු වෙලාවකින් ඒ වල ඉතාම පිරිසිදු වතුර වලින් පිරෙනවා. මේ විදියට ඉස්සෙල්ලාම පිරෙන වතුර ටික පොඩි කෝප්පයක ආධාරයෙන් ඉවතට ඉහල දානවා. ඊටපස්සෙ අලුතින්ම උනන වඩා පිරිසිදු වතුර තමයි කලේට පුරවගන්නෙ. ඒකත් මටනම් හරිම විනෝදයක් ඒකාලේ. ගෙදරින් අරන් එන පෙරහන් කඩය කලේ කට උඩින් හොඳට තියාගෙන ඒ මතට තමයි වතුර වත්කරන්නෙ. එතකොට හරිම ලස්සනට පිරිසිදු වතුර ටික කලේට එකතුවෙනවා. ඒක බලං ඉන්න හරිම ආසහිතෙන වැඩක්.

ඉතින් මේ විදියට කලේ පිරුණට පස්සෙ අම්මා එක උකුලකට කලේ ගන්නවා. අනිත් උකුලට මාව වඩාගෙන ආයෙමත් ගෙදර යනවා. ඇත්තමයි මං එහෙම පස්සෙන් යන එක ඇයට අමතර කරදරයක්. වෙහෙසක්. ඒත් ඉතින් ඒ කාලේ මට එහෙම තේරෙන්නෙ නෑනේ.

දිනක් මාව නිදිකරවපු අම්මා, මං නිදි අතරේ අසල කඩේට යනවා. නින්දෙන් ඇහැරුනු මං හිතල තියෙන්නෙ අම්මා වතුර ගේන්න ගඟට ගියා කියලයි. ඒ මහියංගනේට මුරුගසං වරුසා වැටෙන දෙසැම්බර් මාසෙ දිනයක්. ඉතින් එදා මහවැලි ගඟ පිටාර මට්ටමටම ළඟා උන දවසක්. මේ ගඟේ විශේෂත්වයක් තියෙනවා. ඒ ගඟ උඩහට වහිනකොට ගඟේ වතුර මට්ටම ක්ෂනිකව ඉහල නඟිනවා බලං ඉන්දැද්දිම. ඉතින් මේත් එහෙම දවසක්. කොහොමහරි අම්මා කඩේට ගිහින් ගෙදර එනකොට මාව නෑ කියල දැනගත්තගමන් ඇය දුවගෙන ඇවිත් ගඟ ළඟට. ඒ එනකොට මං අම්මා වෙනදට වතුර ගන්න ගඟට බහින තැන තිබුනු ගලක් උඩට වෙලා වාඩිවෙලා ගලාගෙන යන මඩ පැහැති වේගවත් ජල කඳ දිහා බලාගෙන කල්පනාකරකර ඉන්නවලු. ඒ වෙනකොටත් ගඟේ වතුර මට්ටම වේගයෙන් වැඩිවෙමින් තිබුනලු. අම්මා ඉක්මනට මාව එතනින් ඔසවගෙන ඉවත් වෙනවත් සමඟම ක්ෂණිකව ඉහල නැඟි ජල පහර මා වාඩිවී සිටි ගල යටකරගෙන ගලාගෙන ගියාලු. ඉතින් එදා අම්මා තව මොහොතක් ප්‍රමාද උනානම් අද කීයටවත් ඔබට මෙහෙම සටහනක් කියවන්න නම් ලැබෙන එකක් නෑ.

මාව තනියෙන් ගෙදර දමා යා නොහැකි නිසාම අම්මා ගොඩක් වෙලාවල එයා යන හැම තැනම මාව එක්කන් ගියා. ගඟට නාන්න යනකොටත් එහෙමයි. ඒ නාන්න ගියාම ගං ඉවුරෙ තියපු බේසම ඇතුලෙ ඇය මාව ඉන්දවල රෙදි සෝදනලු.  මාව නොවැටෙන විදියට බේසම වටේට සෝදපු රෙදි අහුරනවලු. අම්මා නාල එනකල් ළඟ තිබුන කෙසෙල් ගහක කොල ඉරමින් ඒවා සපමින් මං අඬනවලු. මේ අතීතය සිහිකරන හැම විටම අදටත් ඇගේ දෑස් කඳුලින් තෙමිලා යනවා. 

මං ඉපදුනේ අනෝරා වැහි වැටෙන පාන්දරකලු. ඒ නිසාද මංද අදටත් මං වැස්සට පුදුම ආදරෙයි. වැස්සයි පාලුවයි, තනිකමයි, මායි අතර තියෙන්නෙ කවදාවත් කඩලා වෙන්කරන්න බැරි මහ පුදුමාකාර ආත්මීය බැඳීමක්. මේ දැනුත් මට මතක් වෙනවා මාව ඇඳේ නිදිකරවල අම්මා ගඟට ගිය බොහෝ දවස් වල ඇඳ අසල ජනෙල් කවුලුවෙන් සීතලට මගේ කුඩා කාමරයට කඩාවැදුනු වැහි හිරිකඩට ලොබ බඳිමින් රූරා හැලෙන වැහි වතුර දිහා කටේ ඇඟිල්ලක් ගහගෙන බලං හිටපු හැටි මං. වහලෙ තිබුන තහඩු, උළු අරං යන්න තරම් වේගෙන් හමපු චණ්ඩ සුළඟට සවන් යොමමින් අමුතුම ලෝකයක තනිවෙලා මගේ පුංචි හිත කල්පනා කලා.

ඇත්තෙන්ම මාව ළඟම තියාගෙන ජීවත් වෙන්න, මට තනියක් වේදනාවන් නොදැනෙන්න මාව ආදරෙන් බලාගන්න මගේ ආදරණීය අම්මා පුදුමාකාර දුකක් වින්දා. විශේෂයෙන්ම පොළ දවසට. එදාටනම් එයා වින්දෙ පුදුම දුකක්. පොලෙන් සතියකට ගන්න අදටත් මට මහම මහ බරකට දැනෙන දැවැන්ත බඩු මලු දෙකත් අරන් ඒ දවස් වල මාවත් වඩාගෙන වගාවට තියෙන කිලෝ මීටර් දෙක පයින් යන එක අම්මට කොහොමටවත් කරන්න බෑ. ඉතින් එදාට එයා කරන්නෙ ඉස්සෙල්ලා බඩු මලු දෙක බිමින් තියලා මාව වඩාගෙන ටික දුරක් ගෙනත් මාව පාර අයිනෙ ගහක් යට හෙවනින් තියලා ආයේ බඩු මලු ළඟට යනවලු. ඊළඟට ඒ බඩු මලු දෙක මං ඉන්න තැනට ගෙනත්, ආයෙ ඒවා එතන තියල මාව තව ටිකක් දුරට වඩාගෙන ගිහින් තියෙනවා. ආයෙ ඇවිත් මලු දෙක අරන් එනවා. හිතාගන්නවත් පුලුවන්ද දයාබර ඔබට. ඒ තමයි මගේ අම්මගේ ආදරය. මාව අඩියක්වත් පයින් ඇවිද්දුවේ නෑ.

මගේ රෝස පාට කකුල් කැතවෙයි, කලුවෙයි, පිච්චෙයි කියලා ගෙදරත් ලස්සන හුරුබුහුටි මේස් සපත්තු දාලයි අම්මයි තාත්තයි මාව ආදරෙන් හැදුවෙ. ඉතින් පයින් මාව ඇවිද්දවන්නෙ කොහොමද එයාලා.

අම්මත් එක්ක නගරෙට ගියපුවම, අම්මයි තාත්තගෙයි දෙන්නගෙම අත්වල එල්ලිලා පෝයට පංසල් ගියාම, වෙසක් එකට, පොසොන් එකට ගියාම පාර දෙපැත්තෙ තියෙන දහසක් අරු මෝසම් කෙලි සෙල්ලම් බඩු අතර මං මොහොතකට තනිවෙනවා. ආසාවෙන් බලං ඉන්නවා. මගේ තාත්තට රුපියල් 80ක පඩියක් අරන් මට රුපියල් 100ක සෙල්ලම් කාර් එකක් අරං දෙන්න බැරිබව මං ඒ කාලෙ තේරුම් නොගෙන හිටියත් අතේ තියෙන ගානෙ හැටියට එයාල මට අරං දෙන සෙල්ලම් බඩු මං හරි ආසාවෙන් තුරුල්කරගත්තා. 

කොච්චර අමාරුකම් තිබුනත් ඒ අමාරුකම් මට නොදැනෙන්න එයාල මං වෙනුවෙන් අනන්ත දුක් ඉහිලුවා. ඒක මං දන්නවා. කවදාවත් එක මොහොතකටවත් මට බඩගිනි උහුලන්න ඉඩතිබ්බෙ නෑ එයාලා. කවදාවත් මගේ කිරි එක වරද්දවුවේ නෑ ඒ දෙන්නා. මාළු මාමා ගේ ඉස්සරහින් "මාළෝ..මාළෝ..." කියල කෑගහගෙන යනකොට මාත් "ආළෝ.." ගාගෙන කඩුල්ල ළඟට දුවල ඉවරයි. මීකිරි මාමා, "මී..කිරී..., මී..කිරී..." කියාගෙන යනකොට මං ඊට වඩා හයියෙන් "පී..කිරී..." ගාගෙන දුවගෙන ආව හැටි අවුරුදු විසිගානකට පස්සේ, අදත් තවමත් මීකිරි විකුණන මාමා කඳුලු පිරිච්ච ඇස්වලින් මතක් කරනවා මං ඒ කාලේ "පී..කිරී..." කියල කෑගහපු හැටි, කලාතුරකින් හරි මුණගැහුනොත්.

කොහොම උනත් අම්මගේත් තාත්තාගේත් අසීමාන්තික ආදරයට තුරුල් වෙලා තට්ට තනියම පාලුවෙන්, ගතවෙච්ච මගේ ළමා කාලෙට අදත් මං පුදුම විදියට ආදරේ කරනවා. ඒ පාලුවට නිතරම හිත දුවල එනවා. ඒ හැඟීම මං පුදුම විදියට විඳිනවා. අදටත් ජනේලෙන් බේරිලා ආව හිරිකඩ හුළඟෙ සීතල මට දැනෙනවා. කුඹුක් ගස් හෙවනේ නිසංසලේ ගලාගෙන ගියපු ගඟේ වතුර වලින් ආව අමුතුම සුවඳ මේ දැනුත් මගේ නාස් කුහර පලාගෙන යනවා මට දැනෙනවා. තව ලියන්න දේවල් මහ ගොඩයි. ඒත් අදට මෙතනින් නතර කරනවා. 

මගේ බිළිඳු අවධිය ගැන සිහිපත් වෙන හැම මොහොතකම නිතැතින්ම මට සිහිවෙන ගීතයක් තියෙනවා. මේ ගීතයේ තියෙන හැම වචනයක්ම මගේ ළමා කාලෙට සමපාත නොවුනත් එහි බොහෝ තැන් මගේ බිලිඳු වියේ සියුම් තැන් තදින් ස්පර්ෂ කරනවා. ඒ නිසා මට මේ ගීය කවදාවත් මගේ හිත පතුලෙන් අයින්කරන්න බෑ. අදට නවතින්නම් මේ ගීතයත් සමඟින්..



"රජ මැදුරක ඉපදී සිටියානම් 
නුඹත් රජෙකි පුතුනේ..
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි 
අද නුඹෙ සිරියහනේ...
හීනෙන් හිනා නොවී 
මා හඬවාපන් මේ රෑ යාමේ...

පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ..
දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ..
ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ..."


ගායනය : විශාරද මාලනී බුලත්සිංහල
පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය : එච්. එම්. ජයවර්ධන 




(Raja Meduraka Ipadi Sitiyanam - Malini Bulathsinhala)




ගීතයේ ස්වර ප්‍රස්ථාරය

******************************************************

ඡායාරූප අන්තර්ජාලයෙනි.

විශේෂ ස්තූතිය : ගීතය සඳහා ස්වර ප්‍රස්ථාරයක් සොයා දුන් බ්ලොග් සහෘදයාට..