Pages

Sandumal

Sandumal

Tuesday, May 20, 2014

•ගංගා එන්නකෝ ගංගා


"නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ..."


 

හැත්තෑව දශකය තරම් සිංහල ගීතය සෞන්දර්යයෙන් සහ සාහිත්‍යමය පෞර්ෂයෙන් පිරීගිය යුගයක් පසුගිය සියවසෙහි දක්නට නොහැකි ය. මනරම් ගේය පබැඳුම් මෙන්ම රමණීය තනු නිර්මාණ ද සුලලිත ගායනාවන් ද හැත්තෑව දශකය වර්ණවත් කළ බව නොරහසකි. 
ප්‍රේමකීර්ති ද අල්විස්, අජන්තා රණසිංහ, සුනිල් ආරියරත්න යන ගේය පද රචකයන් ගේ් වසන්ත සමය ලෙසින් මේ දශකය නම් කළ හැකි ය.



"ගංගා" නම් වූ මේ අපූර්ව නිර්මාණයට මා සවන්දුන්නේ පාසල් ශිෂ්‍යයකු ව සිටි අවදියේ බව මට සිහිකළ හැකි ය. එකල මේ ගීතයේ ගැඹුර, වටහා ගැනීමේ හැකියාවක් මට නොතිබිණි. එහෙත් "ගංගා" නමින් සිදුවන ආමන්ත්‍රණයත්, අබේවර්ධනයන්ගේ සුමියුරු හඬත්, මා වශීකළ බව මට මතක ය. මට එකල දැනුණේ ගංගා නමැති තරුණියකට තරුණයකු කරන ආමන්ත්‍රණයක් ලෙස ය. හුදෙකලාව සිටියදී මේ පදමාලාව ආශාවෙන් මුමුණන්නට මම පුරුදු වී සිටියෙමි. ඒ පුරුද්ද අදත් මා තුළ පවතී.

සුනිල් ආරියරත්නයන් ගේ මුල්කාලීන නිර්මාණ ගණනාවක ම සංකේතාත්මක බවක් දක්නට හැකිවිය. වාචිකාර්ථය විනිවිද යන්නා වූ සියුම් ව්‍යාංගාර්ථ මැවීමට උපරිම ප්‍රතිභාවත් එතුමන් සතු විය. "තොටුපල අයිනේ" නම් වූ ගේය පද රචනාව මේ සඳහා නිදසුනකි. එහි එන තොටුපලෙන් ජීවිතයේ සංධිස්ථානයක් මෙන්ම සංසාරයේ සංධිස්ථානයක් ද එතුමෝ සංකේතවත් කරති. 



ඒ අයුරින් ම කාව්‍යමය ගුණයෙන් පිරිපුන් පදමාලාවක් ලෙසින් "ගංගා" නම් වූ පදමාලාව පෙන්වා දිය හැකි ය. සැබැවින් ම මේ ගංගා කවුද?

"ගංගා" සැබැවින්ම තරුණියක බවත් ඇය එනතුරු තරුණයකු මඟබලා සිටින ලෙසින් කෙනෙකුට මේ අත්දැකීම විඳගත හැකි ය. ඔහු ඇය එනතුරු බොහෝ වේලා මඟ බලා සිටියි. එහෙත් ගංගා පැමිණිය ද ඇගේ අවධානය ඔහු වෙත යොමු නොවෙයි. ඇය ඔහු දෙස නොබලා ගමන් කරන්නී ය. බොහෝ බලාපොරොත්තු පුරවාගෙන බොහෝ දුක් වළඳමින් සිටි තරුණයා ඉච්ඡාභංගත්වයට පත්වෙයි. හෙට දිනයේවත් ගංගා තමා දෙස බලනු ඇතැයි සිතමින් ඔහු සිත හදා ගනියි.

මේ ආකාරයෙන් කෙනෙකුට මේ නිර්මාණයට සමීප විය හැකිය. ගීතය වචනයෙන් වචන විච්ඡේදනය නොකොට ඉහත සඳහන් ආකාරයේ සරල වින්දනයකට යොමුවීමට හැකිවීම මේ නිර්මාණයේ එක් විශේෂත්වයකි.

මේ සීමාවෙන් ඔබ්බට ගිය විට සංකේත හා රූපක වලින් පිරි සුන්දර කාව්‍යයක් ලෙසින් මේ නිර්මාණයට සමීප විය හැකි ය. ආදරය සෙනෙහස තුළින් තෙතමනය නොලද වියළී ගිය යොවුන් හදවතක්, ආදරය සෙනෙහස නැමැති ගංගාව තම හදවත දොවා ගෙන යාවි ය යන අපේක්ෂාවෙන් සිටින ආකාරය ද මෙයින් අත්විඳිය හැකි ය.

"ගංගා එන්නකෝ ගංගා
මං බලාන ඉන්නේ
ඔබ එනතුරු ගංගා.."

යෞවනයකු සෙනෙහසක තෙතමනය බලාපොරොත්තුවෙන් සිටින ආකාරයක් මෙමඟින් හඳුනාගත හැකි ය. ඔහුගේ ජීවිතයට ආදරය සෙනෙහස නොලැබීම නිසා ඔහුගේ ආත්මයම වියළී ගිය තඩාගයක් බඳු ය. දිරූ ඉපල් අතු දඬු ඔසවාගෙන, නියඟින් දා ගිය තම ආත්මය අසීරුවෙන් ඔහු උසුලාගෙන සිටියි. එහෙත් තමා බලාපොරොත්තු වන, ආදරය සෙනෙහස නැමැති ගංගාව ඔහුට පෙනි පෙනීම වෙනතක ඇදීයයි.

ප්‍රේමය යදිමින් සිටින ඔහු දැන් පිපාසිතයකු හා සමාන ය. ආදරය නැමැති ගංගාවේ සිසිලස නොලබා වියළී ගොස්, පිපුරුණු දෙතොලින් අහස බලා සිටින්නේ අහසින්වත් දිය පොදක් වැටේවිය යන අපේක්ෂාවෙනි. එහෙත් ඒ කිසිවක් නොලබන ඔහු දකින්නේ තම වියළි හදවත තෙත් නොකොට තමා අසලින් ම ආදරයේ ගංගාව තමාට ඔච්චං කරමින් ඉවත බලාගෙන ගමන් කරන ආකාරයයි. 

යෞවනය, බොහෝවිට මෙබඳු ඛේදවාචකයන්ට මුහුණ දෙන බැවින් ද, යෞවන විය ඉක්මවා සිටින්නකුට ද, මෙවැනි ඉරණමකට මුහුණ දෙන්නට සිදුවිය හැකි බැවින් ද මේ ආකාරයෙන්, මේ නිර්මාණයට සමීප වීමේ හැකියාව ද පවතී.

මා අසා ඇති පරිදි මේ නිර්මාණය මීට වඩා වෙනස් අරමුණක් යටි මනසේ තබාගෙන බිහිවුණු නිර්මාණයකි. හැත්තෑව දශකය වූ කලී ශ්‍රී ලංකාවේ යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් ඇරැඹුණු අවධියකි. එනම් පොල්ගොල්ලේ විශාල වේල්ලක් බැඳ මහවැලි ගඟ රජරටට හැරවූ අවධියයි. එසේනම් එතෙක් සිඳී ගොස් සිටි රජරට ප්‍රදේශයේ වැවක් මහවැලි ගඟට කරන ආයාචනයක් ලෙස මේ නිර්මාණය රසවිඳිය නොහැකිද? එබඳු පරිකල්පනයක පිහිටා මේ නිර්මාණයේ රසය තව තවත් උද්දීපනය නොවේද? මේ ඇහෙන්නේ සියවස් ගණනාවක් වැසි දියෙන් පමණක් යැපෙමින් වරෙක පිටාර ගලමින් සිට, වසරේ වැඩිකලක් වියළී සිටින රජරට වාපියක් ම නොවේද?

"ගංගා එන්නකෝ ගංගා
මං බලාන ඉන්නේ
ඔබ එනතුරු ගංගා.."

රජරට, සිඳී ගිය වැව මහවැලි ගඟට අමතන්නේ ආයාචනාත්මක ස්වරයෙනි. ඒ ස්වරයෙන් පීඩිත බව ඉස්මතු වෙයි. එතැන් සිට රචකයා චිත්ත රූපයට නඟනුයේ වියළී ගිය ජලාශයේ ස්වභාවයයි. දිය සිඳීයාමත් සමඟ දිරාගිය ඉපල් අහස බලාගෙන සිටී. ඒ වැහි පොදක්වත් වැටෙන තුරු විය යුතුය. මේ තරම් දුක් වළඳමින් සිටියදී මෙතෙක් කල් තමා දෙස නොබලා අහක බලා ගිය මහා වාලුකා නදියට, ජලාශය විසින් අමතනු ලබන්නේ චෝදනාත්මක ස්වරයෙනි. එහෙත් හෙට දින මහවැලිය තම වියළී ගිය සිරුර තෙත් කරන බව දන්නා මේ දුක්විඳි වාපී තොමෝ දෙවනු ව මහවැලියට අප්‍රමාණ වූ ආදරයකින් අමතන්නී ය.



දැඩි කාෂ්ඨකයෙන් ඉරිතලා ගිය පොළොව රචකයා දකිනුයේ පිපුරුණු දෙතොලක් ලෙසයි. අහසට මුව විවර කරන වැව් පතුළ රසිකයාගේ මනසේ සිතුවම් වෙයි. තම තාරුණ්‍යය මේ වැවට අහිමිවන්නේ අකලට ය. ඒත් ඒ සියලු දුක් දොම්නස් හෙට දවසේ නැවත නොඑන්නට ම දුරස් වන බවට රචකයා ඉඟි කරන ආකාරය අපූරු ය.

"පිපුරුණු දෙතොළින් අහස බලාගෙන
දිය පොද රහිතව අකලට මහලුව
හඬා වැටෙද්දී මා
පෙනෙන ඉසව්වෙන් යන්න ගියා ඔබ
නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ..."

ගේය පද රචනයක, පිරිපුන් බවට මේ පද රචනය අපූරු නිදසුනකි. කෙතරම් සංකේත, රූපක භාවිතා කළ ද තම පදමාලාව තුළ ගීතමය ගුණය සුරක්ෂිත කරගැනීමට සුනිල් ආරියරත්නයෝ වග බලාගනිති.
රචකයාගේ පරිකල්පනයේ, වාහකයන් බවට පත්වන්නේ සංගීතඥයා සහ ගායකයා ය. "ගංගා" නැමැති යෙදුම වූ කලී සංගීතමය යෙදුමකි. සංගීතඥයකුට ඒ තුළ විශාල ස්වර පරාසයක් කරා ගමන් කළ හැකි ය. මේ නිර්මාණය තුළ දී වික්ටර් රත්නායකයන් ඒ වචනයෙන් උපරිම ප්‍රයෝජනය ගනියි. ගංගා යන යෙදුම ඉතා ම දුක්බර ආයාචනයක් ලෙසින් ඔහු යොදාගනියි. එසේ ම "එන්නකෝ" යන ව්‍යවහාරික යෙදුම ද, කරුණා රසය හා ශෝක රසය මතුවන අයුරින් භාවිතා කරනු ලබයි. ඒ නිසා රසිකයා ගේ සවන් වැකෙන මුල් ම වදන් මාලාව රසික අවධානය දිනාගැනීමට සමත් වේ.

අබේවර්ධන බාලසූරිය නම් ගායකයාගේ හඬ වූ කලී අතිශයින් ශෝකී හඬකි. එය හැත්තෑව දශකයේ තවත් එක් මං සලකුණක් බවට පත්වෙයි. මේ සමඟ ම මගේ සිහියට නැඟෙන්නේ ඒ දශකයේ මතු ව ආ තවත් ගීත කීපයකි. "බොඳ මීදුම් කඳුරැල්ලේ", "වැලිබත් ඉව්වා", "සිහිවටනය සේ කුමක් ලියන්නද", "සූරියකාන්තා", "කල්පනා ලොව මල්වනේ", "අනුරාධපුරය ඔබයි", වැනි නිර්මාණ තාමත් අපගේ මතකයේ රැඳී ඇත්තේ, ඒ හඬෙහි ඇති සුවිශේෂත්වය හේතුවෙනි. 

අද වැනි පරිගණක තාක්ෂණයක් නොතිබුණ යුගයත මතු වූ, එබඳු අව්‍යාජ හඬවල් රාශියක් ම එකල සංගීත කෙත අස්වද්දන්නට දායක විය. පදරචකයන්ට ඔවුන් ගේ හඬ ආලෝකයක් වූ අතර ඔවුන්ට ආලෝකයක් වීමට පද රචකයන්ට ප්‍රතිභාවක් තිබිණි. වර්තමානයේ අපෙන් ගිලිහී යන්නේ මේ ප්‍රතිභාවයි.

"ගංගා" ගැන ලියූ සටහන ප්‍රමාණවත් යැයි මම සිතමි. මේ අවසාන සටහන තබන්නේ මේ අපූරු ගීය ගායනා කළ අබේවර්ධනයන් වෙනුවෙනි. මා ඔහු සමඟ කිසිදිනෙක කතාබහ කර නොමැත. මම ඔහුගේ හඬට ප්‍රිය කරමි. මගේ යෞවනය අර්ථවත් කරන්නට ඔහුගේ හඬ දායක වී තිබේ. ඒ හඬෙන් හදවතේ සියුම් තැන් ස්පන්දනය කිරීමට ඔහු අනේකවාරයක් දායක වන්නට ඇත. එහෙත් ඔහුගේ හදවතේ ස්පන්දනය නතර වී අදට තෙමසක් පිරෙයි. කිසිදු රසික ගංගාවක් ඔබ දෙස බලා අහක බලා යන්නේ නැත. 
"ඔබට නිවන් සුව.."


"දිරූ ඉපල් අතු දඬු ඔසවාගෙන
නියඟින් දා ගිය සිරුර වාරුකර
බලා සිටිද්දී මා
අහක බලාගෙන යන්න ගියා ඔබ
නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ...
ගංගා
එන්නකෝ ... ගංගා
මං බලාන ඉන්නේ
ඔබ එනතුරු ගංගා
දිරූ ඉපල් අතු දඬු ඔසවාගෙන
නියඟින් දා ගිය සිරුර වාරුකර
හඬා වැටෙද්දී මා
අහක බලාගෙන යන්න ගියා ඔබ
නෑ නේද ඉතින් යළි 
අහක බලන් යන්නේ...
පිපුරුණු දෙතොලින් අහස බලාගෙන
දියපොද රහිත ව අකලට මහලු ව
බලා සිටිද්දී මා
පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ
නෑ නේද ඉතිං යළි අහක බලන් යන්නේ"

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - වික්ටර් රත්නායක
ගායනය - අබේවර්ධන බාලසූරිය



(Ganga Ennako Ganga - Abewardene Balasooriya)







(ගීත විචාරය ධම්මික බංඩාර මහතා විසිනි. ඡායාරූපය අන්තර්ජාලයෙනි.)



***************************************************************************

අද දින ඔබ වෙනුවෙන් මවිසින්ම විචාරය කරන ලද ගීතයක් ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටියද නොවැළක්විය හේතුවක් නිසා එම උත්සාහය ව්‍යර්ථ වුණි. කෙසේ වුවද එම විරාමය අතරතුර බ්ලොග් අඩවිය පාලුවට යා නොදී ඔබ හට ගෙන ආ මෙම ගීතය සහ විචාරයද ඔබේ සිත් සතන් පිනවනු ඇතිබව මා තරයේ විශ්වාස කරන්නෙමි.

ගීත විචාරයේ සඳහන් පරිදිම මුල් කාලයේ මාද මෙම ගීතය රසවිඳේ සැබෑවටම ගංගා නම් තරුණියක මුල් කොට ගැයූ ගීතයක් සේ සලකාය. නමුදු ඉතා මෑතකදී මා කියවූ පුවත්පත් ලිපියකින් මා ඉතා පුදුමයට පත් වූයේ මෙම ගීයෙහි සැබෑම අරුත වටහාගැනීමෙන් පසුවය. එම ලිපියට අනුව මෙම ගීතය මහවැලි ගඟ රජරටට හැරවීම වෙනුවෙන්ම ලියවුනු ගීතයකි. එපමණක් නොව වැඩිදුර විස්තර සොයා බැලීමේදී ගීතයේ ලියවුනේ එකල ආණ්ඩුවේ ප්‍රබලයකුගේ ඉල්ලීමක් මත බවද දැනගන්නට ලැබුනි. කරුණු කාරණා කෙසේ වුවද, කිනම් අදහසකින් ගීතය ලියැවුනද, ඇත්තටම ගංගා ගැන ලියවුනද, නැතිනම් මහවැලි ව්‍යාපාරය ගැන ලියවුනද ගීතය රසවිඳීමට මේ කිසිවක් බලනොපායි. ගීතය තමාට රිසි ප්‍රස්තුතයක් යටතේ රසවිඳීමට රසිකයාට අවස්ථාව සැලසී ඇත.

එසේ නම් අද දිනද මා දයාබර පාඨකයන්ට ආරාධනා කරනුයේ මෙම ගීතයද, විචාරයද රසවිඳින්න. ඔබේ අදහස් මාත් එක්ක බෙදාගන්න..

මවිසින් ඔබවෙත ගෙන එනු ලබන මීළඟ ලිපිය නැසැකවම මවිසින් නිර්මිත ස්වයං ගීත විචාරයක් වනු ඇත. එතෙක් මෙය රසවිඳින්න..


පසුව ලියමි

ධම්මික බංඩාරයන් මෙම විචාරය ලියන විට මේ සොඳුරු ගායකයාණන් අපෙන් වියෝවී තෙමසක් ගත වී ඇති බව ඔහු සඳහන් කර තිබුනා. නමුත් මා ඔබට මෙය ඉදිරිපත් කරන මේ මොහොත වනවිට මේ සුන්දර මිනිසා අපෙන් සමු අරං වසර හතරකුත් පිරිලා. නමුත් මෙතුමා අපට තිළින කර ගොස් ඇති සොඳුරු නිර්මාණ නිසා තවමත්, සදහටමත් ඔහු අපේ හදවත් තුල ජීවමානව සිටිනවා. ඉතාම සංවේදී කරුණනම් මේ අමරණීය ගායකයාණන් නිහඬ වූ මොහොතේ අපට අහිමි වූයේ ඔහුගේ හඬ පමණක් නොවීමයි. මේ සංවේගජනක මොහොතේ තවත් කෝකිලාවක් ගොලු වූවා. ඒ ඔහුගේ සදාදරණීය බිරිඳ, අපේ සදාදරණීය ගී කෝකිලාව, නිරංජලා සරෝජිනී මහත්මිය. ඇය සදහටම ඇගේ හඬ වසන් කලේ ඔහු වෙනුවෙන්. ඔහුට බැඳී අසීමිත සෙනෙහස වෙනුවෙන්. ගායක ගායිකාවන් තම පුද්ගලික ජීවිත් තුල බාල් නටන සමයක මේ උදාරතර පතිනිය ඇගේ දයාබර ස්වාමියා වෙනුවෙන් මේ කරන කැපකිරීම රසික අප හඬවාලුවද, එය සමාජයට දැරිය නොහැකි පාඩුවක් වුවද ඇය ඔවුන්ගේ සෙනෙහස වෙනුවෙන් සදා නිහඬව සිටී. ඇත්තෙන්ම අපි මෙම මොහොත මේ යශෝදරාවන් දයාබරව සිහිපත් කිරීමටද අවස්ථාවක් කරගමු. මේ සටහන් ලියූවේ එම බෝසත් ප්‍රේමවන්තයින් දෙදෙනා වෙනුවෙනි.



27 comments:

  1. මාත් හිතං හිටියේ ගංගා කෙනෙක් ගැන තමා සිරාවටම.. තැනුකුයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. මාත් මුලින් හිතාගෙන හිටියෙ එහෙම.

      Delete
  2. ගංගා...???
    මං නං එහෙම හිතුවෙත් නෑ... මොකද මං මේක කලිං අහල නෑ නෙව... දැං මේ අහන ගමන්..
    විචාරයත් රසවත්.... වෙනදා වගෙම සිතුගන්නා සුලුයි...
    තැනිකූ වේවා...

    ReplyDelete
    Replies
    1. හොඳයි..හොඳයි..එහෙනම් අදවත් සිත්සේ අසා රසවිඳින්නකෝ..

      Delete
  3. අදනේ සිංදුවේ හරිම තේරුම දැනගත්තේ. මම හිතුවේ කොල්ලෙක් කෙල්ලෙක්ට කියන සිංදුවක් කියලා.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං. මාත් මුලින් හිතුවෙ එහෙමනේ..

      Delete
  4. 70 දශකයේ බිහි වුන සාහිත්‍ය විශේෂයෙන් ගීත අද තියෙන ගීත එක්ක බලපුවාම ගොඩක් ඉහලින් තියෙනවා. මේ ගීත කොයි කාලෙත් රසවිඳින්න පුලුවන් වීම විශේෂත්වයක්.

    ReplyDelete
    Replies
    1. ඔක්කොටම කලින් පකිස් පෙට්ටිය ඉතාම සාදරයෙන් පිළිගන්නවා.

      ඔබේ කතාව හරියටම හරි. මේ ගීත පිපෙන හතුවගේ නෙවෙයි. සර්වකාලීනයි. කවදත් එකවගේ රසවිඳින්න පුලුවන්.

      Delete
  5. මං ගීය අදමයි අැහුවේ.. මුලින්ම හිතුවේ ගෑන්ලමයෙක් ගැන කියලා.. වෙන්ද වගේම රසවත් විවරනයක් දුන්නට තැන්කිව් .....


    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. පළමු වතාවට ගීතය රසවිඳගත්තනම් ඉතාම සතුටුයි විදානෙ. ගොඩක්ම ස්තූතියි අගය කිරීමට.

      Delete
  6. මාත් ගීතය නම් අදමයි ඇහුවෙ. මුලින්ම හිතෙන්නෙ අර වගේ හැඟීමක්ම තමා.

    ඇත්තෙන්ම මේ යුවල බෝසත් යුවලක්ම තමා. තාමත් වෙසෙන මුදල් මත ආදරය සිරකරන අය අතර මේ අය ගෞරවනීයයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රියා. බෝසත් යුවලක් විදියට හැඳින්වුවාට පවු නෑ. මුළු මහත් කලා ලෝකයටම ආදර්ශයක් මේ දෙපළ.

      Delete
  7. හරිම අගෙයි මනෝෂ්.....................

    ඇත්තට ම මම කලින් ගීතය අහලා නෑ කියලයි මට හිතෙන්නේ. පද ටික බලලා ගීතය දැක්කාම මට හිතුනෙත් හැමෝම කියනවා වගේ ප්‍රේම ගීතයක් කියලා. ඒත් විචාරය දැක්කා ම හරිම සතුටක් දැනුනා. නමුත් මේ ගීතය ආණ්ඩුවේ අවශ්‍යතාවයකට ලියැවුණා කියලා කියද්දි යම් ගැටළුවක් තියෙනවානේ. සුනිල් ආරියරත්න ආණ්ඩුවට අවශ්‍ය විදිහට කවි ලියුවා කියන එක. ඔහුගේ දේශපාලන දර්ශනය මා දන්නා විදිහට නම් ටිකක් වෙනස් නේද????

    ReplyDelete
    Replies
    1. බලං ගියාම මේ ගීතයත් බහුතරයක් දෙනා අහල නෑනෙ.

      ඒක මටත් ප්‍රශ්නයක්. සුනිල් ආරියරත්නයන් එකල තිබූ ආණ්ඩුවට ප්‍රබලවම විරෝධය පෑ කෙනෙක්. ඇත්ත නැත්ත හරියටම දන්නෙ නෑ. නමුත් මට එහෙම අහන්න ලැබුනා.

      Delete
    2. මේක ලිව්වේ 1976 ට පෙර. පොල්ගොල්ල හැරවීම සම්බන්ධයෙන්. සුනිල් ආරියරත්න සමගි පෙරමුණු රජයට හිතවත් කෙනෙක් තමයි. එජාප රජය සම්බන්ධයෙන් තමයි ඔහුගේ විවේචන තිබුණේ. ඉතිං‍, මේ ගිය සම්බන්ධයෙන් ගත්තම ඒ පැත්තෙන් ගැටලුවක් නෑ.

      කමෙන්ට් දැක්කම පුදුම හිතුණා! බහුතරයක් දෙනා මේ අතිශය සොඳුරු ගීය අහලා නෑ කියලා තියෙනවා දැක්ක නිසා. ඒක එයාලගේ වරදක් නෙවෙයි...ඒවා ශ්‍රවණයෙන් ඈත් කෙරුණා මාධ්‍යවල අවරසික මාධ්‍ය භාවිතාව නිසා. දැන් ආපහු ඒක හදා ගන්න උවමනයි...

      Delete
  8. අදත් ඔන්න ඉස්සෙල්ලාම ඇහුව සිංදුවක් ගැන දැන ගන්න ලැබුනා.. ගියේ විස්තරය නම් හිත ඇද ගත්තා... අපූරුයි..

    ReplyDelete
    Replies
    1. කලින් අසා නැති ගීතයක් ඔබට රසවිඳීමට ලබා දීමට හැකිවූ නිසා මගේ උත්සාහය සාර්ථකයි. ගොඩක් ස්තූතියි දිනේෂ්..

      Delete
  9. මට සිංදුවට වඩා වැදුනෙ නිරංජලා සරෝජිනී මහත්මියගෙ පරිත්‍යාගය මචං.. ඒක ලියපු විදිය නං හරි අපූරුයි. !!

    ReplyDelete
    Replies
    1. ඔව් මචං, ඒක උත්තරීතර පරිත්‍යාගයක්. ඒව හැමෝටම කරන්න පුලුවන් දේවල් නෙවෙයි. ඒත් ඒකෙන් කලා ලෝකයටනම් උනේ දරාගන්න බැරි පාඩුවක්.

      පත්තරේ.. ගොඩක්ම ස්තූතියි ඔබේ අදහසට..

      Delete
  10. විචාරය ගැන ලොකු දෙයක් කියන්නෙ නෑ ,මට මෙක මගහැරුණේ කොමද මෙච්චර දවස් ,කොම උනත් රස වින්දා ,එහෙනම් මනෝ ගේ එකක් එනකන් ඉමු ,

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ සහෝට මේ ගීතය මීට කලින් හම්බෙලා නැතිද? කොහොම උනත් ගීතය රසවිඳනම් ඒක ලොකු සතුටක්.

      ස්තූතියි සහෝ..

      Delete
  11. පිරී යෑමට දිය බලාපොරොත්තු වන වැවක් ගැන සිත්තමක් තිබීමත් ගැලපෙනවා. රසවින්දනය කියන එක විවිධාකාරයි.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. ගීතය තමන්ට වඩාත්ම සමීප අයුරින් රසවිඳීම පාඨකයා සතු අයිතියක්.

      Delete
  12. මමත් මේ ගීතය කලින් අහලා නෑ... ගීතයත් විචාරයත් හුඟක් රස වින්දා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තුශානි.

      පහුගිය දවස් ටිකේ ආවෙ නෑ නේද?

      Delete
    2. ඔව්.. මනෝශ් මේ ටිකේ ටිකක් වැඩ වැඩියි... ඉඩක් ලැබුන ගමන්ම මගඇරුන පෝස්ට් ටිකත් කියවන්නම්කෝ...

      Delete