Pages

Sandumal

Sandumal

Tuesday, May 13, 2014

•පබළු නගේ නාමල් තිලකේ


"වැව් කන්දේ බෝ ගස් හෙවනේ මම අද තනියම ඔළිඳ ගණිනවා..."







සොබාදහමෙන් ඉතාම පුංචි කාලයක් ඉල්ලගෙන අපි මේ මිහිමත ජීවත් වීමට පැමිණ ඇත්තෙමු. ඒ කෙටි කාල සීමාව තුලදී අපි දහසකුත් බැඳීම අතිකරගන්නෙමු. නමුත් සදාකාලයටම ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. ප්‍රියයන් හැර යාම අන් හැම දුකකටම වඩා අප හදවත් වලට දැනෙනුයේ මනුෂ්‍යයන් වශයෙන් අප බැඳීම මත පදනම් වූ සංවේදී ජීවිත ගතකරන්නන් වන හෙයිනි.මවු කුස තුල සිටිමින් දයාබර මවු සෙනෙහසට බැඳෙමින් පළමු බැඳීම ඇතිකරගනිමින් ඉන් අනතුරුව මෙලොව එළිය දුටුදා පටන් අප අනේක විද බැඳීම ඇති කරගනිමින් බැඳීම මත පදනම් වූ ජීවිතයක් ගත කරති. 

මෙවැනි බැඳීම් අතර ලේ බැම්මෙන් හට ගන්නා බැඳීම් වලට පසු අප ඇතිකරගන්නා අතිශය ප්‍රබලතම බැඳීම වනුයේ දිවි ගමන්මගෙහි අපගේ සෙවනැල්ල සමඟ අප ඇතිකරගන්නා බැඳීමයි. එනම් ආදරයේ බැඳීමයි. සෙනෙහෙවන්තයෙකු, සෙනෙහෙවන්තියෙකු අතර ඇතිවන්නාවූ බැඳීමෙහි අරුමය, එහි දිග පළල, එහි ගැඹුර කෙසේනම් විස්තර කරන්නද. එවන් වූ අපරිමේය බැඳීමක නිමාව, වියෝව ඔබට කෙසේනම් දරාගත හැකිවනු ඇතිද. එම වියෝව දිවියක නිමාව නම්.. ඔබට එය කෙසේ දැනෙනු ඇත්ද. මේ සටහන එබඳු අතිසංවේදී මොහොතක් පිළිබඳවයි.

ඔහුත් ඇයත් සදාතනික වූ අපරිමේය සෙනෙහසකින් බැඳී සිට ඇත. 



නමුදු ඒ අහිංසක ආදරයට කණකොක් තටුවක හෙවන වැටී අඳුරු වැටී ඇති සෙයකි. දෙදෙනෙකු විසින් ගොඩනැගූ ලොව තුල ඔහු අද තනිවී සිටියි.


"පබළු නගේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ..
සුමනෝ...නුඹ ඇයි නැත්තේ.."


මෙම ශෝකාන්තය කෙතරම් අපූරුවට ගීයට නඟා ඇත්ද. ඔහුගේ සොඳුරිය ඔහුට කෙතරම් අගනේදැයි ඔහු ඉතාම සංයමයෙන් ගෙන එන අයුරු කෙතරම් ප්‍රසංශනීයද. ඇගේ සුකොමළ බව ප්‍රේමනීය බව, ගැමි ළියකගේ මොලකැටි බව  "පබළු නගේ නාමල් තිලකේ" යන ප්‍රකාශය තුල මනාව කැටි කොට ඇත. නමුත් ඇය ඉන් නතරවන බොළඳ පෙම්වතියක් නොවන බව ඒ සමඟම ඔහු පවසන අයුරු ඊළඟ පද පෙලින් නිරූපණය වේ. ඒ "පුංචි ඔසරි මැණිකේ "ලෙස ඇයට කරන දයාබර ආමන්ත්‍රණය තුලිනි. ඇය පුංචිය. එනම් ළා බාලය. නමුත් ඇය ඔසරි අඳින පුංචි කෙල්ලකි. මින් අදහස් වන්නේ හුදු ඇගේ ඇඳුම ගැන පමණක්ම නොවන බවයි මගේ අදහස. ග්‍රාමීය හෙළ සමාජය තුළ ඔසරිය යනු ආවාට ගියාට අඳින ඇඳුමක් නොවේ. ඔසරිය යනු සභ්‍ය ලාංකීය හෙළ කාන්තාවගේ ප්‍රතිමූර්තියයි.  එහෙයින් රචකයා මේ පවසන්නට උත්සාහගන්නේ ඇගේ සොඳුරු මොළකැටි බව තුළ සැඟවුණු උදාරතර යුවතිය පිළිබඳවයි. ඔහු මේ පවසන්නේ ඔහුගේ කෙළිලොල් පෙම්වතිය ගැන පමණක් නොව ඔහු සතුකර ගැනීමට සිහින මැවූ දයාබර බිරිඳ පිළිබඳවයි. ඔහුගේ දූ සිඟිත්තන්ගේ දයාබර අම්මා පිළිබඳවයි. මේ ඔහුට ඇය පිළිබඳව ඇති අසීමිත සෙනෙහසයි. ගෞරවයයයි. මොහොතකට සිතා බලන්න. මා මෙම ඡේදයක් පුරා ඔබට විස්තර කළ දේ රචකයා ඉතාම සරල වචන කිහියකින් නිරූපණය කර ඇති අපූර්වත්වය පිළිබඳව.

නමුත් ඒ සෙනෙහෙවන්තිය අද ඔහු අතර නොමැත.

"සුමනෝ...නුඹ ඇයි නැත්තේ"

මීළඟට ඔහු නිරූපණය කරන්නේ ඔහුගේ මෙම ශෝකය සොබාදහම සමඟ බැඳී ඇති ආකාරයයි. ගීතයේ සංවේදී බව මෙම සිදුවිමෙහි ඇති සංවේදී බව ඉතාම මැනවින් අප හදවත් තුළට කිඳා බැස්වීමට රචකයා මේ තුළින් සමත් වී ඇත.


"වැවේ දියේ ඇති නිකින්ණි නිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවනේ
මම අද තනියම ඔලිද ගණිනවා.."


සොබාදහමේ සංසිද්ධීන් සමඟ ඔහු තම මතකයන් සහ ඒ මතකයන් තුලින් නැගෙන්නාවූ කටුක වේදනාව මුහු කර ඇති අන්දම රසික හදවත් කම්පනයට ලක් කරයි. 

ඔවුන්ගේ සබඳකම් මරණයෙන් වෙන්කර ඇතිමුත් එම මතකයන් හා බැඳුණු සොබාදහම් ගීය තවම මියගොස් නොමැත. මියයන්නේද නැත. එනිසා එදාවගේම අදත් වැව් දිය මත කෙකටිය පිපී ඇත. නමුත් ඒ සුපුන් සඳ මඩලක් යට නොවේ. රාහු ගිලගත් අඩ සඳක් යටයි. ඔහුගේ ලොවෙහි, නොමැති නම් ඔවුන්ගේ ලොවෙහි, ඔවුන් ගොඩනැගීමට සිහින මැවූ ලොවෙහි පුන් සඳ අද බැස ගොස්ඇත. ඉතිරිව ඇත්තේ ඔහුගේ මතකයන් වලින් පමණක් නැගුණු මළානික අඩ හදක් පමණි. "අඩ හඳ යායට කෙකටිය පිපිලා" යන්නෙහි අදහස එයයි.

මේ දයාබර සෙනෙහසේ සුවඳ බොහෝ දුර සිට පැමිණියක් විය යුතුය. ඔහුට මතක් වන්නේ බාල වියෙහි සිට ඔළිද කෙළියෙහි යෙදුණු වැවු කන්දයි. නමුදු අද ඔළිද ගැනීමට ඇය ඔහු ළඟ නොමැත. ඔහු ඔළිද ගහ යටට වී හිස් බැල්මෙන් බිඳෙන දිය රැළි දෙස බලාහිදිනවා විය යුතුය. දයාබර පාඨකයිනි, කෙදිනක හෝ ඔබ ඔළිද ගසක් යට හිඳ ඇතන්ම්, නුග සෙවණක් යට මෙන් ඔළිඳ සෙවනක් යට දැනෙන පාලු හුදෙකලා බව මේ මොහොතේ ඔබට මතක් වනු ඇත. නිහඬ මොහොතක "ටික් ටික්" හඬින් ඔළිද වැටෙන හඬට ඔබ සවන් දී ඇතිනම් සිතට නැගෙන පාලුව ඔබට සිහියට නැගෙනු ඇත. ශෝකය සමඟ බැඳි පාලුව විදීමටනම් මොහොතකට ඔළිද සෙවනක තනිවන්න. ඔබට මෙය දැනෙනු ඇත. 




රචකයා ඉන් නොනවතියි. මීළඟට ඔහුට දිස්වන්නේ ඇල ළඟ වත්තේ පිපෙන තල මලයි. මෙවැනි සොබාදම් නිර්මාණයන්හි සොඳුරු බව වැඩි වැඩියෙන් දැනෙනුයේ සුපෙම්බර දෙහදකින් මේ සුන්දරත්වය විඳින විටකදීය. නමුත් යම් දිනෙක මෙම සොඳුරුබව දැකීමට ලැබෙනුයේ ඉන් එක් හදකට පමණක් නම් මේ සියලු දසුන් වේදනාවේ උල්පත් පමණකි.

"වෙනදා වාගෙම තල මල පිපිලා
තිබුනට ඇල ලඟ වත්තේ...


සුමනෝ...උඹ ඇයි නැත්තේ..."

මේ මොහොතේ මගේ මතකය ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ සොඳුරුතම ගේය පද රචකයාණන්ගේ පද රචනයක් වෙත කැඳවාගෙන යයි.

"වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා"
(ගායනය - මර්වින් පෙරේරා)
මෙහි ගීත විචාරය රසවිඳිනවා නම්..


මේ පවසන්නේද එවැනිම වූ කතාවකි.

ගීතයේ අවසාන කොටසින් රචකයා අපව තවත් හඩවන්නේ ඉහත කී හුදෙකලාව තුල ඔහුත් අපත් සියල්ලන්ම තනි කරමිනි. 


"මළ හිරු එලියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
පාන් දෙකක එළි මැද්දේ..."


මළ හිරු, සුදු කොකුන්, මේ හැම සංසිද්ධියක්ම අපව මේ රැගෙන යමින් තිබෙන්නේ මළගමකටය. ඒ දයාබර ඇගේ මළගමයි. ඔබට එය දරාගත හැකිනම් මේ  ඇගේ මළගමයි.  සිතින් මවාගන්න  මෙම ශෝකබරිත සිතුවම.

"පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
පාන් දෙකක එළි මැද්දේ.."

මොහොතකින් ඇය පස් යට සඟවමින් ඔහුට උදාවන්නේ ජීවිතයේ කටුකතම  රාත්‍රියයි. ඔහු ඇවිද යයි. නොදැනුවත්වම ඔහු යළිත් පැමිණෙන්නේ තවත් මතක මංකඩකටයි. 



"මදටිය වැටෙද්දී හඳ කැලතෙන ඇල
ඒ දණ්ඩේ ඉස්මත්තේ...
සුමනෝ...නුඹ ඇයි නැත්තේ..."



වචන කිහිපයකින් රචකයා මේ පවසන්නේ ශෝකී හුදෙකලාවක අනන්තය නොවන්නේද? මෙම කොටස සවන් වැකෙන විට මා සිත්හි නැගෙන සිතුවම ඔබට මං මෙසේ විස්තර කිරීමට උත්සාහ ගන්නම්.
ඔහු පැමිණෙනුයේ ඔවුන්ගේ සෙනෙහසේ සුවඳ තැවරුණු ඒදණ්ඩේ ඉස්මත්තටයි. ඒදණ්ඩ සහ ඒ යටින් ගලා යන ඇල අඳුරුකරමින් ඇති අතුපතර විහිදී ගිය රූස්ස මදටිය වෘක්ෂයකි. ඒ අතුපතරින් පෙරී ආ සඳ රැස් වැටී නිසල ඇල දියෙහි අඳුරුසිතුවම් මැවී ඇත. හිටිවනම සියුම් හඬින් ඇල දියට වැටෙන මදටිය ඇටවලින් හටගන්නා කැළඹීමෙන් සඳ එළිය ඇල දියමත බොඳව යයි. මදටිය ඇටයක වැටීමෙන් සසල වීමට තරම් ඇල දිය නිසල නම් මේ පරිසරය ගිලී ඇත්තේ මොනතරම් පාලු නිශ්චල නිහඬ බවක්දැයි ඔබට සිතාගන්නටවත් හැකිද? මෙයට හේතුව කුමක්ද? 


සුමනෝ...නුඹ ඇයි නැත්තේ....


අල්පයක් තරම් වූ තම නිර්මාණ තුලින් කල්පයක් තරම් වූ කාලයක් සිංහල සුභාවිත ගීත සාහිත්‍ය අස්වැද්දූ ඔහු අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ය. ඔහුගේ අතලොස්සක් වූ ගී සංකල්පනා අතර දවසක් පැල නැති  හේනේ,  ළඳුනේ, උලලේනෝ, වැනි විශිෂ්ඨතම නිර්මාණයන් අතරට එකතුවෙන මෙම පබළු නගේ ගීතයද රසික හදවත් ප්‍රකම්පනයට ලක් කල අති සංවේදී ගී සංකල්පනාවකි.  

ඊටම එකතු වූ ගුණදාස කපුගේ නම් අසහාය ගායකයාණන්ගේ හඬ මාධූර්ය පද රචනාව හා බැඳෙන කල්හි, ගීතයට එකතුවන් අගය පරිමිත කල නොහැක්කේ එවන් සුසංයෝගයක් සංරසකටත් වඩා මුහුවන බැවිනි.  කපුගේ සතු ඔහුටම ආවේණික වූ පාළු, ශෝකි ස්වරය  ගීතයට ජීවය දෙනු ලබන්නේ රසික අප හදවත් පතුලටම ගීතය කැඳවාගෙන යමිනි. මළගමක ශෝකය, ඉන් අනතුරුව ඇතිවන කලපාන්තයක් වන් පාලුව, ගීතය රසවිඳීමේදී සජීවීව හදවතට දැනෙනුයේ එහෙයිනි. එය වඩාත් තහවුරු වී ඔපමට්ටම් වන්නේ කපුගේ විසින්ම නිර්මාණය කල තනුව හා සංගීතය හේතුවෙනි.

ගීතය මෙතරම්ම සමීපව සජීවීව අප හදවත් තුලට දැනීමට පදරචනය තුල සැබ්බ්ගවුන තවත් සංවේදී රහසක් තිබේ. මගේ බ්ලොග් අඩවියේ ඉහල ඇති බැනරයේ මා උපුටා ගැනීමක් දක්වා ඇත.

"මුතු ඇටයක් වන්නේ බෙල්ලෙක්ගෙ බෙලිකටුවක සිරවුන වැලි කැටයේ වේදනාවයි"

ඉහත කියමන මෙම ගීතය සමඟ ලේ බැම්මකින් බැඳෙනුයේ  පුදුමාකාර ලෙසිනි.

මුතු ඇටයක් වන් මෙම ගීතය, ඇත්ත වශයෙන්ම අධිනීතීඥ රන්බංඩා සෙනෙවිරත්නයන්ගේ හදවතෙහි සිරගත වුනු වේදනාවයි! මෙය එතරම්ම සංවේදීව අප අතරට ගෙන ඒමට  සමත් වන්නේ ඔහුගේ මෙම වේදනාව විය යුතුය. මා අසා ඇති පරිදි මේ ඔහුගේම කතාවයි. මේ සෙනෙහෙවන්තිය, සුමනා ඔහුගේම සෙනෙහෙවන්තියයි. මෙම සිදුවීම සිදුව ඇත්තේ ඔහු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුව සිටි කාලයේදීයි. ඔහු හැමවතාවකම ගමට දිව එන්නේ ඔහුගේ සුමනා සොයාගෙනයි. නමුත් එක් වතාවක.....ඔහු පැමිණෙන විට සියල්ල සිදුව හමාර වී තිබුණි. වෙනදා ඔහු එනතුරු වැව් කණ්ඩිය මත පෙරමඟ බලා සිටි ඇය තවදුරත් එහි නොසිටියාය..



මෙම ගීතයත් සමඟම මට සිහිපත් වන මීටම සමාන්තර තවත් ගීතයක් ඔබට සිහිපත් කිරීමට මේ අවස්ථාව සුදුසු යැයි හැඟේ. එනම් මීට පෙර මවිසින් ඔබ වෙත ගෙන ආ ධම්මික බංඩාර මහතා විසින් විචාරය කරන ලද " ඇය යන්න ගියා මැකිලා" ගීතයයි.  එම ගීතයද මේ අයුරින්ම අප සියලු දෙනා කම්පනයට පත් කල ගීතයකි.

දෛවය පුදුමාකරය. ඇය අප හැරගොස් බොහෝ කල් ගතවී ඇත. ඔබත් මමත් මෙය රසවිඳින මේ අවස්ථාව වන විට ඇය ගැන අපට කියූ ඔහුද අප හැර ගොසිනි. නමුත් අද ඔහු ඇය සමඟ එක් වී ඇතැයි මට හැඟේ. ඔවුන් නික්ම ගොස් ඇත්තේ කෙතරම් අපූරු නිර්මාණයක් අපට තිළිණ කරමින්ද.

අදත් සඳ ඇති  රෑක, මදටිය ගහයට ඇල මත ඒදණ්ඩේ ඔවුන් අත් අල්ලාගෙන රහස් මුමුණන ආකාරය දෑස් පියාගත් විට මා මනසේ අඳුරු සිතුවක් ලෙස මැවී බොඳ වී යයි..







ගීතය මෙතනින්  Download කරගන්න...
(Pabalu Nage / Sumano - Gunadasa Kapuge)







(සියලු ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.)

                                                          -මනෝෂ් සඳරුවන් (සඳුමල්)



*********************************************************************************


එසේනම් මා දයාබර මිතුරු මිතුරියනි මා ඒ අවසන් කලේ කලක සිට ඔබගේ ඉල්ලීමක් වූද, මගේ බලාපොරොත්තුවක් හා සිහිනයක් වූද, මා විසින් ප්‍රථම වරට විචාරය කරන්නට යෙදුනු මාගෙ මංගල ගීත විචාරයයි.

මෙම නිර්මාණ කර්තව්‍යයේදී, මෙහිලා මවිසින් විශේෂයෙන්ම මතක් කල යුතු කරුණු කිහිපයක් තිබේ. මෙම නිර්මාණය වූ කලී ඔබගේ ශක්තියෙන්, ඔබගේ දිරිගැන්වීමෙන් බිහි වූ මගේ උත්සාහයේ ප්‍රතිපලයයි. ඔබගේ උනන්දු කරවීම නොතිබුනි නම් තව බොහෝ කාලයකට මා අතින් ගීත විචාරයක් බිහි නොවීමට ඉඩ තිබුනි. 

මෙහිදී මෙම ගීත විචාරය නිර්මාණය කිරීම සඳහා ධම්මික බංඩාර නම් වූ සොඳුරු ගේය පද රචකයාණන්ගෙන්, ප්‍රවීණ ගීත විචාරකයාණන්ගෙන් මා ලැබූ පන්නරය මාඅ හට ව්චන වලට පෙරලීම අසීරුය. මේ මොහොතේ මම ඉතාම කෘතවේදීව එතුමා ගෞරවයෙන් සිහිපත් කරන්නෙමි. තවද, මෙතරම් ඉක්මනට මගේ ස්වයං ගීත විචාරයක් ඉදිරිපත් කිරීම සඳහා මා දැඩිලෙස උනන්දු කරවූ කුරුටු ගෑ ගී පවුරේ සාමාජිකයන්ට මාගේ ප්‍රණාමයා මෙසේ පුද කර සිටින්නෙමි. තවද, පෙර පෝස්ට්ටුවෙන් මා මේ පිළිබඳ සඳහන් කල මොහොතේ සිට මා හට මහමෙරක් තරම් ශක්තියක් වෙමින් නිබඳ මා දිරිගැන්වූ මගේ දයාබර බ්ලොග් සහෘදයින් ඉතාම කෘත්වේදීව සිහිපත් කරන්නෙමි. විශේෂයෙන්ම, ප්‍රියා, විදානෙ, දේශක, අරූ, තුශානි,සහෝදර,දිනේෂ්,හිම පියල්ලේ,මධුරංග, වැනි මගේ බ්ලොග් අඩවියෙහි යාවජීව මිතුරන්ට මගේ ගෞරවනීය ස්තූතිය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කරගානිමි. එසේම නම් සඳහන් කල්, නොකල, මගේ අඩවිය සමඟ නිතර රැඳෙන, කලාතුරකින් හෝ පැමිණ රසවින්දනයක් ලබන සියලු දෙනාටම මම අතිශයින්ම කෘතවේදී වෙමි. ඔබ සියලු දෙන් ආගෙ සහයෝගය නොවන්නට මට මෙය සිහිනයක් පමණක්ම වනු ඇත.

ඔබ නොහඳුනන මුත්, මගේ මෙම නිර්මාණ දිවියටා මට මහඟු අත්වැලක් වන නිබඳ මා පසු පස සිට දිරිය ලබා දෙන මගේ ළබැඳියන් කිහිප දෙනෙකු සඳහන් කිරීමටත්, ඔවුනට මගේ කෘතවේදීතවය පලකර සිටීමටත් අවස්ථාවක් ලබා දෙන්න. පෙර පෝස්ටුවකද සඳහන් කල පරිදි මගේ දයාබර සෙනෙහෙවන්තිය මේ සෑම කටයුත්තකදීම මට ලබා දෙනුයේ නොමඳ සහයෝගායකි. ඉදිරියට පියවරක් තැබීමට මා පැකිලෙන සෑම අවස්ථාවකදීම ඔබ සියලු දෙනා  මෙන් මා තුල විස්වාසය ඇතිකරමින් මා ඉදිරියට තල්ලු කලේ ඇයයි. එමෙන්ම නිර්මාණ කියවමින් නිතර මට සුබ පතන, ආශිර්වාද කරන, වැරදි අඩුපාඩු අඩු ලුහුඬුකම් කියාදෙන මගේ දයාබර මෑණියන් මේ මොහොතේ මා ඉතාම ආදරයෙන් සිහිපත් කරන්නෙමි. කවදත් මගේ දිවි ගමනේ පහන් ටැඹ වූයේ ඇයයි. තවද මනා රසවින්දනයකට මට මඟ පෙන්වූ, මගේ හදවත තුල සොඳුරු රසවතෙකු බිහි කල ආදරණීය අලහකෝන් බංඩාර ගුරු පියාණන්ද, හරබර සාහිත්‍ය වචන වල අරුත් පහදා දෙමින් නිතර මට උදවු කරන අබේකෝන් හේරත් ගුරු පියාණන්ද මේ මොහොතේ බැතිබරව සිහිපත් කර සිටින්නෙමි.

අවසාන කිරීමට මත්තෙන් මා දයාබර පාඨක ඔබගෙන් ඉල්ලීමක් කරමි. ගීත විචාරය කියවන්න. රසවිඳිය හැකි මට්ටමේ පවතීදැයි බලන්න. ඉන් අනතුරුව නැගෙන ඔබගේ අවංක අදහස් මට කප්පරකටත් වඩා වටී. යම් හෙයකින් මා අධෛර්‍යමත් වනු ඇතැයි සිතා ඔබා ඔබගේ අවංක අදහස්, විවේචන, වැරදි, මා හටා නොපෙන්වා සිටියහොත් එය මගේ ඊළඟ නිර්මාණය කරාද ඇදී යනු ඇත, එනිසා ඔබේ අදහස්, යෝජනා, චෝදනා හා විවේචන මා ඉතා ඕනෑකමින් බලාපොරොත්තු වෙමි. 

එසේ නම් රසවතුනි, මේ ඔබේ අවස්ථාවයි. හැමදාමත් වගේ මම ඔබේ අදහස් බෙදා ගැනීමට මඟ බලාහිඳින්නෙමි...




49 comments:

  1. මේක නම් සුපිරි.අවාසනාවකට මේ ගීතය නම් මට අහන්න ලැබිලා නෑ.හැබැයි අපූරු විදිහට අපේ සිතේ චිත්ත රූප මවනවා.රන්බණ්ඩා සෙනෙවිරත්න මහතාගේ ගොඩක් ගීත වල වගේම අපි මේ ගීතයෙත් අර පාලූ,මූසල දුකක් දකිනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි හිම පියල්ලේ. මගේ ප්‍රයත්නය සාථකයි වගේ. ගීතය ගොඩක්ම රසයි. මීට කලින් අහලනැති එක පුදුමයි. දැන් ඉතින් රසවිඳින්නකො.

      Delete
    2. මේ විචාරය වැරදියි මෙතන තියෙන්නෙ අයියයි නංගියි අතර කතාවක්

      Delete
  2. බෝම හොදයි තවත් ඉදිරියට කරගෙන යන්න. සතත අභ්‍යාසය, දැනුම මුවහත් කර ගැනීම ඉතා වැදගත්. ඔබ ඔබේ ක්‍රමයක් හදාගන්න විචාරය සදහා. ඒකයි වැදගත්.

    ඔබට මග හැරුනු තැනක් ගැන මං පොඩි අදහසක් දෙන්නං

    පුංචි ඔසරි මැණිකේ කියන එකෙන් අදහස් වෙන්නේ මං හිතන විදියට මේ දෙන්නා ඉතා කුඩා කාලයේ ඉදන් එකට සිටි එකයි. ඒ කාලේ ඔසරි ඇදගෙන සෙල්ලං ඉස්කෝල් දාපු කාලේ තමා මේ මතක් කරන්නේ මට හිතෙන විදියට. මම ගීත රචනා ගැන මක්කවත් නොදන්න නිසා වැරදි වෙන්නත් පුළුවන් මේ අදහස.. ජය වේවා.. උඹ ගොඩ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශක. ගොඩක් ස්තූතියි. හිතුවට වඩා ලිවීම සාර්ථක වුනා.

      \\ඔබ ඔබේ ක්‍රමයක් හදාගන්න විචාරය සදහා//

      මේ මගේ ක්‍රමය තමයි දේශා.. ධම්මික බංඩාර මහතාණන්ගේ ගීත විචාර සහිත පුවත්පත් ලිපි මං කලින් සැකසුවෙත්, පසුතලය නිර්මාණය කලෙත්, මේ ආකාරයටම තමා. ඔය පාට, හැඩ වැඩ කැටයම්, පිංතූර මවිසින්ම එකතු කල දේවල් තමා එදා ඉඳලම.

      ඔසරි මැණිකෙ ගැන දේශක හිතපු විදියත් ඉතාම සාධාරණයි. මාත් කලින් ඒ අදහසින් එය අසා තිබෙනවා. නමුත් "පුංචි ඔසරි මැණිකේ" යන යෙදුම මට හැඟුනෙ නව යොවුන් බොළඳ යුවතිය තුලම සිටින සාරවත්, පූර්ණ , සිංහල කාන්තාවයි. ඒ අදහසිනුයි එහෙම ලීවෙ.

      ආයෙමත් සැරයක් ගොඩක්ම ස්තූතියි දේශක. ඔයාලගෙ වචන තමා මගේ සාර්ථකත්වය.

      Delete
    2. මං කිය්නනේ පසුතලලයි පින්රතයි ගැන නෙමෙයි..

      Delete
    3. ඒ කියන්නෙ? යොදා ගන්නා ලද භාශා ශෛලියද? ඔයාලගේ උපදෙස්, යෝජනා, විවේචන මට ගොඩක්ම වටිනවා දේශා. ගමන සාර්ථක වෙන්න නම් ඒවා අත්‍යාවශ්‍යමයි. ඒ නිසා, ප්ලීස් දේශක. ඔබේ අදහස මට කියන්න.

      Delete
    4. දේශක කියන දේ තෙරුම් ගන්න බලහන් තමන් ලියන කොට තමන් ගේ කියලා යමක් එකතු කරලා ලියන්න බලන්න ,එක නිකන් ලකුණක් වගේ දෙයක් වෙලා එයි ඉස්සරහට...

      Delete
    5. ඒ කියන්නෙ මේ ලිවීම අනුකරණයක් වගේ දැනෙනවද කියවගෙන යනකොට?

      Delete
    6. සෙද්ද ඔක හරි යයි තව ලියහන් එතකොට හරි ;))))))))))))))))))))))))))))))

      Delete
    7. ඒක හරි. පටන්ගත්ත විතරනෙ. තව ඉස්සරහට ලියනකොට බලමුකො.

      Delete
  3. මේ ගිතයට මගේ ඇති කමැත්ත මං කලින් බොගියක කිව්වා මතකයි,රන්බණ්ඩා සෙනවිරත්න ගැන තව ටිකක් ලිව්වා නම් හොදයි කියලා හිතුනා,කොම වුනත් නියමයි ,එදා වගේම අදත් කියන්න ඇත්තෙ මේ රූප මට ??????

    ජයවේවා.....

    ReplyDelete
    Replies
    1. අඩේ සහෝ.. රූප දානකොට උඹව මතක් උනා. ඒත් රූප වලට ගොඩක් අයගෙන් ලොකු ඉල්ලීමක් තියෙනවනේ. රූප අමතක කරපන් මචං තරහ නැතිව.

      ලිපිය ටිකක් දිග වැඩිවුනා. ඒ නිසා සෙනෙවිරත්නයන් ගැන ලියන්න තිබුන ගොඩක් දේවල් මඟ හැරුනා. ඉදිරියේදි ලියන්නම් සහෝ..

      Delete
    2. ලිපිය ටිකක් දිග වැඩිවුනා///
      දිගවැඩි නෑ,අර යටින් තියෙන ස්තුතියි කිරිල්ල නම් දිග වැඩි ... :D අවුලක් නෑ හොද අරම්භයක් ....

      Delete
    3. ඒකත් එක්ක තමා දිග වැඩි වුනේ. ඒක අදට විතර්යිනෙ. ඒ ස්තූතිය කල යුතුම එකක්. ඒකයි ඒක දැම්මෙ සහෝ..

      Delete
  4. විචා ලියන එක නං ලේසි නෑ, හැබැයි ඔබේ උත්සාහය නම් සාර්ථකයි, මොකද අර මොක්කුද වගේ සින්දුවක් අහනවට වඩා එකේ හරය එකේ පසුබිම දැනගෙන අහනවනම් ඒ ගීතය ගොඩක් රස විඳින්න පුළුවන් කියලයි මන් නං හිතන්නේ, මොකද අද බහුතරයක් සින්දු අහන්නේ කකුල් දෙකට නිසා, එවුන්ට බුද්ධං සරණං ගච්චාමි කියද්දීත් නැටවෙනවා, මන් ආසම ගී පද රචකයෙක් වගේම ගායකයෙක් වන මේ සුසංයෝගය කොතරම් අගනා ගීත අපිට දායාද කලාද , ඔබට තුති වගේම ඔබට ජය.

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඉතාම සාදරයෙන් ඔබව මේ ඉසව්වට පිළිගන්නවා.මටත් ඔන්න ඔය ටික තමා වෙන්නෝනි. කකුල් වලට සිංදු අහන රසික පිරිසක් වෙනුවට, ඔලුවට, මනසට සහ හදවතට ගීත අහන රසික පරපුරක් බිහි වුනානම් ලංකාව මීට වඩා ගොඩක් ලස්සන වෙනවා. ඔබ ලබාදුන් දිරියට අනේක වාරයක් ස්තූතියි ඔබට.

      Delete
  5. උදේම පෝස්ට් එක කියෙවුවත් තව පාරක් කියවලම කමෙන්ට් එකක් කොටන්න හිටියා.

    හදවතින්ම සතුටුයි බං… ඒ වගේම සුබ පැතුම් මුලින්ම……

    ඔය ගීතය වැඩිපුර අහලා නැතත් උඹේ විචාරෙට අදහසක් දක්වන්න නිසාම අහලත් බැලුවා.
    විචාරෙ සාර්ථකයි මනෝ. අන්තිම කොටස් ටිකට එන්නෙ පුදුමාකාර පාළුවක් හිස් බවක් අරන්.

    පුංචි ඔසරි මැණිකෙ කි‍යත්දි ඇය ගුරුවරියක්ද කියලා හිතුනත් පහලට එත්දි හිතුනා දේශා කිවුවා වගේ එකක්ද කියලා.

    ගීත විචාර වලින් කළබලයක් නැතිව හිමින් සීරුවෙ දිගු ගමනක් උඹ යයි කියලා බලාපොරොත්තු වෙනවා මනෝ.

    ReplyDelete
    Replies
    1. මං උඹේ කමෙන්ට් එක මොකක් වෙයිද කියලා බලං හිටියෙ මචං.එහෙනම් වැඩේ සාර්ථකයි නේද?

      "පුංචි ඔසරි මැණිකෙ" කියන ප්‍රකාශය මටනම් සිහිගන්වන්නෙම ඇය ළඳ බොළඳ යුවතියක් නෙවෙයි කියනා එකමයි මචං.

      හදවතින්ම මං උඹට ස්තූතිවන්තවෙනවා මචං. මේ ගැන කියපු පහුගිය පෝස්ට් එකට උඹ දැම්ම කමෙන්ට්ටුව ලොකු ශක්තියක් උනා මේ වැඩේට.

      Delete
    2. ස්තූති ඕන්නෑ බං. උඹ දක්ෂ බව උඹේ හිතටම ඒත්තු ගන්නපන්. එතකොට ඔක්කොම හරි.

      Delete
    3. මොකෙක්ටහරි ප්‍රයෝජනයක් ගන්න පුලුවන් විදිහෙ දෙයක් ලියවුනානම් එච්චරයි බං.

      Delete
    4. උනා නේන්නන් බං. මේකට කියවලා මාත් මේ සිංදුව බාගෙන ඇහුවනෙ. ඒකම ප්‍රයෝජනයක් නොවැ.

      Delete
    5. ඒක කුපාඩි කමක් නෙවෙයි විදානෙ. ඒක කුපාඩි කමක් වෙන්නෙ උඹ උඹේ ඒ යාලුවාට ද්‍රෝහිකමක් කලා නම්. එහෙම එකක් නෑනෙ. එයා ලඟ උඹ ප්‍රාර්ථනා කරපු ගතිගුණ තිබුනා. ඉතින් උඹට හිතෙනවා යාලුවා එක්ක යාලුවෙලා නොහිටියනම් එයා, උඹ එයාව බඳිනවා කියල. ඒක කුපාඩි කම නෙවෙයි විදානෙ.

      Delete
    6. විදානෙ නෙමේ බොල මම ප්‍රියා. අපිත් හොද කුපාඩි තමා. හරිය…… හඃ හඃ :D

      Delete
    7. අඩේ විදානයාට දාපු කමෙන්ට් එකෙන් බාගයක් උඹට වැටිල තියෙන්නෙ. කොහොම උනාද මංද. සමාවෙන්නෝනි සහෝ..

      Delete
  6. මේ ගීතය නම් අහලා නෑ.. අහලා බලලම එන්නම්.

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි, අහල නැති ගීයක් අහන්න ලැබුනනම් ලොකු සතුටක්. එහෙනම් අහල ඇවිත්ම විස්තර කියන්නකො.

      Delete
  7. ගීත බ්ලොග් එක අද තමයි අහම්බෙන් දැක්කේ. හොඳ උත්සහයක් අපට නිතර අහන්න හම්බ වෙන්නේ නැති ගීත ගැන දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඉතාම සාදරයෙන් පිළිගන්නවා ඔබව. විවේක ඇති වෙලාවල ඇවිත් ගීත රසවිඳින්න. ගොඩක්ම ස්තූතියි අදහස්ක් එකතුකලාට.

      Delete
  8. මේ ගීතය අද තමයි මුල් වතාවට මමත් ඇහුවේ.. විචාරය හුඟක් සාර්ථකයි කියලා හිතෙනවා ... දිගු ගමනකට සුබ පැතුම්....

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ගොඩක් දෙනෙක් මේ ගීතයත් අහල නෑ වගේ නේද. ගොඩක්ම ස්තූතියි තුශානි ඔයාටත්.

      Delete
  9. හරිම සතුටු දවසක්. පළමුවෙන් ම මේ තෝරාගත් ගීතයට ස්තූති කරනවා. කපුගේ ශූරීන්ගේ ඉතාම රසවත් ගීතයක්. රංබණ්ඩා සෙනෙවිරත්නයන්ගේ ජීවිත අත්දැකීමක්.....

    දෙවනුව අපි ඔබ උනන්දු කරවූ බවට ඔබ දරන්නා වූ මතය ගැනත් ස්තූතිවන්ත වෙනවා. මනෝෂ් හැබැයි පොඩි අවුලක් අද මට වෙලාව මදි මේක කියවන්න. ටිකක් කියෙව්වා. එහෙම කියවලා මදි. හෙට සම්පූර්ණයෙන් කාලය දාලා කියවලාම හරි කමෙන්ටුවක් දාන්නම්... බොහොම අගෙයි උත්සහය. හෙට හරියට ම කතා කරමු.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි, ගී පවුරෙන් කමෙන්ට් එකක් පරක්කු වෙනකොට මට හිතුනා මොකඛරි අවුලක් තමා කියල. හදිසියෙන් කියවල කමෙන්ට් කරනවට වඩා නිවී සැනසිල්ලෙ කියවල කමෙන්ට් කරනෙක තමා හොඳ. මොකද මේ වෙලාවෙදි මට ඔයාලගෙ නිරවුල් අව්‍යාජ, අදහස්, උපදෙස් ගොඩක්ම වටිනවා.

      Delete
  10. ඔය තියෙන්නේ බෑ බෑ කිවුවට මොකද.. ලියන්නම ඕනනේ සහෝ ඒ රටාවට වැටෙන්න.. ඉතින් අපි ලියමු.. තල්ලුවට අපි ඉන්නේ..

    සිංදුව ගැන කියනවනම් මම ආස සිංදුවක්.. හැබැයි මේක ඉස්සරම මම වැඩියෙන් ඇහුනේ මම තනිවෙලා මූඩ් ගහලා ඉද්දී අහන සිංදු සෙට් එකක එකක් විදිහට.. ඇත්තටම ඒ පද ටික හිතට තදින්ම වැදෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ් වැඩේ සාර්ථකයි කියල මටත් දැන් හිතෙනවා. ඒ වගේම ඔයාල වගේ ඉතාම සොඳුරු මිනිසුන් පිරිසක් බ්ලොග් කලාවෙ ඉන්න නිසා ලියන්න ඒක ලොකු හයියක් වෙනවා. ගොඩක්ම ස්තූතියි මචං.

      Delete
  11. කපුගේ ගායනා කරන මං අාසම කරන ගීය..

    කැම්පස් එකේ මගේ යාලුවෙක්ගේ පෙම්වතියක් හිටියා..මමත් අැයත් දෙදෙනා විතරක් ඉන්න වෙලාවක මම මේ ගීය නිකං මිමිනුවා.. එතැන්දි අැය මේ ගීයට ගොඩාක් සංවේදී උනා. දවසක් අැය මගෙන් මේ ගීයේ තේරුම ලියල දෙන්න පුඵුවන්ද අහුවා.. ඉඩ තිබ්බ වෙලාවක මට හිතුනු දේ ලියල දුන්නා..... එවකට අැය මාගේ මතුරාගේ පෙම්වතිය නොවුනානම් අද අැය මාගේ බිරිද වන්ටද ඉඩ තිබුනා.. අදටත් අැයත් සමග කථාකරනවිට මේ ගීය සමගින් අතීතය මතක් කරනවා...පොස්ට් එක කියෙව්වම අැය මතක් උනා....බලාගෙන ගියාම මාත් කුපාඩියෙක් ද කොහෙද......

    කොහොමත් මේ පෝස්ට් එකේ ලින්ක් එක අැයට යවනවා....

    ස්තුති අනවශ්‍යයි.. ලස්සන විචාරයක්... දිගටම ලියං යං....
    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ගීතය ගැන ඉතාම සොඳුරු පුද්ගලික මතකයක් විදානෙට තියෙන නිසා කාටත් වැඩියෙන් විදාඅනෙට මේ ගීතට සහ විචාරය හදවතට සමීප වෙන්නැති. මං ලියපු පළමු විචාරයම මගේ මේ සහෘද පිරිසෙන් එක්කෙනෙකුගෙ හරි ජීවිතයට සැබෑවට ලං වුන ගීතයක් වීම ගැන මට පට්ට සතුටුයි මචං. එහෙනම් මේ ලින්ක් එක හරි නැත්නම් පෝස්ට් එකේ කොපියක් හරි එයාටත් යවන්න විදානෙ.

      \\බලාගෙන ගියාම මාත් කුපාඩියෙක් ද කොහෙද......//

      ඒක කුපාඩි කමක් නෙවෙයි විදානෙ. ඒක කුපාඩි කමක් වෙන්නෙ උඹ උඹේ ඒ යාලුවාට ද්‍රෝහිකමක් කලා නම්. එහෙම එකක් නෑනෙ. එයා ලඟ උඹ ප්‍රාර්ථනා කරපු ගතිගුණ තිබුනා. ඉතින් උඹට හිතෙනවා යාලුවා එක්ක යාලුවෙලා නොහිටියනම් එයා, උඹ එයාව බඳිනවා කියල. ඒක කුපාඩි කම නෙවෙයි විදානෙ.

      Delete
  12. හරි මනෝෂ්,

    අලුතෙන්ම ඒ ගැන කතා කරන්න පටන් ගනිමු. පළමුවෙන් ම අපේ කුරුටු පවුරේ සැම වෙනුවෙන් ඔබගේ ගීත විචාර කෞෂල්‍යයට මාගේ උපහාරය....
    දෙවනුව අපේ ඉල්ලීම වෙනුවෙන් මෙන් ම තම හැකියාව පිළිබද ව විශ්වසය තබමින් ඔබ කළ පළමු නිර්මාණයට අපගේ ප්‍රණාමය.

    අපි ගීතය ගැන කතා කරමු...

    //"පබළු නගේ නාමල් තිලකේ" යන ප්‍රකාශය තුල මනාව කැටි කොට ඇත. නමුත් ඇය ඉන් නතරවන බොළඳ පෙම්වතියක් නොවන බව ඒ සමඟම ඔහු පවසන අයුරු ඊළඟ පද පෙලින් නිරූපණය වේ. ඒ "පුංචි ඔසරි මැණිකේ "ලෙස ඇයට කරන දයාබර ආමන්ත්‍රණය තුලිනි. ඇය පුංචිය. එනම් ළා බාලය. නමුත් ඇය ඔසරි අඳින පුංචි කෙල්ලකි. මින් අදහස් වන්නේ හුදු ඇගේ ඇඳුම ගැන පමණක්ම නොවන බවයි මගේ අදහස. ග්‍රාමීය හෙළ සමාජය තුළ ඔසරිය යනු ආවාට ගියාට අඳින ඇඳුමක් නොවේ. ඔසරිය යනු සභ්‍ය ලාංකීය හෙළ කාන්තාවගේ ප්‍රතිමූර්තියයි. එහෙයින් රචකයා මේ පවසන්නට උත්සාහගන්නේ ඇගේ සොඳුරු මොළකැටි බව තුළ සැඟවුණු උදාරතර යුවතිය පිළිබඳවයි. ඔහු මේ පවසන්නේ ඔහුගේ කෙළිලොල් පෙම්වතිය ගැන පමණක් නොව ඔහු සතුකර ගැනීමට සිහින මැවූ දයාබර බිරිඳ පිළිබඳවයි. //

    ඔබ පරිචයක් සහිත ගීත විචාරකයෙක් කියලා අපි විශ්වස කලේ මේ නිසායි. ඔබ මේ විග්‍රහ කරන දේ ඉතා කලාත්මකයි. ඒ විතරක් නෙමෙයි තාර්කිකයි. එය ඔබගේ විග්‍රහක් වන බව පෙන්වමින් ම අපි ඒ වෙත ගෙන යනවා. මේ තමයි ඔබගේ විචාරය කියවන අතර පළමු වතාවට මගේ ඇග හිරිවැටුණ තැන. ඉතාම වැදගත්.

    අනික ඔබ මදටිය ගස යට හෙවන ගැන විග්‍රහ කරන විදිහ. ඉතාම හරවත් මනෝෂ්. ඔබ එය පාඨකයාගේ අත්දැකීමක් කරවනවා. එය හරිම ප්‍රාෙයා්ගික විචාර ක්‍රමයක් මනෝෂ්..

    මේ ගීතය ගැන ගත්තහම මං අහලා තියෙන විදිහට රංබණ්ඩා සෙනෙවිරත්නයන්ගේ නෑනා හෝ ළගම ඥාති සොයුරියකගේ අභාවය ගැන තමයි මේක ලියන්නේ. නමුත් ඔබ කියුවාට වඩා මං අසා ඇති ආකාරයට මෙය සිදුවන්නේ ඔහුගේ පාසල් සමයේ. ඔහු නිවසින් පිට සිට ඉගෙන ගන්නා කාලයේ. ඔහුගේ දෙමාපියන් මේ ගැන දැනුවත් කරන්නේ නෑ. ටික දිනකට පසු නිවසට එන විට සෙල්ලම් කරපු කුඩා පෙම්වතින නෑ. ඒ සමග පුංචි ඔසරි මැණිකේ වැනි යෙදුම් ගැලපෙනවා කියලයි මට හිතෙන්නේ. නමුත් ඒ පිළිබද ව ඔබගෙනා විග්‍රහයත් හරිම අලංකාරයි. මේ ගැන ටිකක් හොයලා බලන්න. අනික මදටිය වැටෙද්දි සද කළතෙන ඇල යන්නෙන් කියැවෙන දේත් මේ හා සම්බන්ධයි. මෙම දැරිය මැරිලා තියෙන්නේ ඇලට වැටිලා නිසා ඒක සංකේවත් කරන්න තමයි මේක කියන්නේ කියලයි මං අහලා තියෙන්නේ. ඒත් මේක ඇත්ත ද කියලා මං හරියටම දන්නේ නෑ. ටිකක් හොයලා බලන්න. අපේ සහෝදරයින් මේකේ වැරදි ඇතොත් නිවැරදි කරයි කියලා හිතෙනවා. .......

    අනික මේ ගීතය පුරාවට කියැවෙන උපමා ගන්නකෝ. අඩසද යාය, බෝගස් හෙවන, තලමල පිපිලා, මලහිරු එළිය, මේ පද ඔක්කොම මූසල හැගීමක් ඇති කරනවා. ඒ වගේ ම මනෝෂ් මේ ගීතයේ සංගීතය කියන්නේ වෙනමම විචාරය කරන්න ඕනේ දෙයක් කියලයි අපිට හිතෙන්නේ. ඒක මල බෙරය හා මුසු කරපු හරිම හුදෙකලා හැගීමක් ඇති කරවන්නක්.

    හරි කොහොම වුණත් අපි කියු දේ හරියට ම හරි කියලා දැන් හැමෝම දැන ගනියි .ඔබ ඉතා සාර්ථක ගීත විචාරකයෙක්. ඔබ ඒ දේ පළමු අවස්ථාවෙන් ම ඔප්පු කලා. අපිට හරිම සතුටුයි. අපි ඔබට ස්තූතියි කියනවා ඔබගේ වෑයම වෙනුවෙන්. මේ ගැන අපි තව තවත් කතා කරමු මනෝෂ්,

    ආයෙම කියන්න ඕනේ හරිම සතුටුයි. අපි දෙයක් කරලා ජයගත්තා වගේ කියලා දැනෙනවා........................

    ReplyDelete
    Replies
    1. ගීත විචාරය මං හිතුවට වඩා ගොඩක්ම සාර්ථක වෙලා කුරුටු. ඒ තුලින් මං මේ ලබන අපරිමිත සතුටෙ කොටසක් ඔයාලටත් අයිතියි. ඔයාලත් ඒ සතුටෙ කොටස්කාරයෝ. මොකද ඔයාල නොහිටින්න මං අතින් මෙච්චර ඉක්මනට කිසිසේත්ම ගීත විචාරයක් ලි‍යැවෙන්නෙ නෑ. ඒ නිසා ඔයාල ගොඩක්ම ස්තූතියි කුරුටු.

      ගීත විචාරය ගැන කුරුටු කියල තියෙන අදහස දැක්කම ආයෙමත් උඩට දුවගෙන ගිහින් මගේ ගීත විචාරෙ ආයෙ සැරයක් මටම කියවන්න පෙරේත කමක් හිතට දැනෙනවා.

      ගීතයේ සැබෑ කතාව කෙදිනක, කුමකින් හෝ කියවූ මතකයඛිතේ තියෙනවා. මතක තිබුනෙ ඔහු සරසවි සිසුවෙක් බවත්, මේ සෙනෙහෙවන්තිය මිය ගියත් ඔහු යළි ගමට එනතුරු ඔහුගේ දෙමවුපියන් මේ පිළිබඳව ඔහුට නොකීබවත්ය. නමුත් ඇය මිය ගිය ආකාරයක් පිළිබඳ මතකයක් නෑ මට. නමුත් කුරු කීව දේ ගීතයත් සමඟ ඉතාම සමාන්තරව යනවා. ඒ නිසා ඇගේ මරණය ඇලට වැටීමෙන් සිදුවූවක් විය හැකියි. ගීතයේ නිදාන කතාව ගැන හරිම විස්තරය කොහොමහරි හොයාගන්නම්. හොයාගත්තොත් අනිවාරෙන්ම ඔයාලටත් කියන්නම්.

      ආයෙමත් සැරයක්, ගොඩක්ම ස්තූතියි කුරුටු. මගේ මේ ගමනට ඔයාල ලොකුම ලොකු ශක්තියක්.

      Delete
  13. මම කැමතියි උඹේ පළමු උත්සාහයට!!

    මේ ගීතයෙන් දනවන පාළුව, සාංකාව විචාරයකින් දනවන්න අමාරුයි. ඒක ඒ තරමටම සාර්තක ගීතයක්. මේ ගීතයත් රන්බන්ඩා සෙනෙවිරත්නයන් ගැනත් බොහොම ලස්සන වැඩසටහනක් ගියා හිරු ටීවී එකේ උත්තරීතර කියන වැඩ සටහනේ. මට ලින්ක් එකක් දෙන්න හොයාගන්න අමාරුයි. මොහු අදීන මිනිසෙක්. එසේ මෙසේ අය එක්ක නෙමේ ගැටුනේ.තම මිත්‍රයාවූ කපුගේ සමගත් නඩුගියා කියලා මතකයි ගීතයක් වෙනුවෙන්.
    http://col3negs.info/watch.php?id=31978 මෙන්න ලින්ක් එක ට්‍රයි කරන්න.

    ReplyDelete
    Replies
    1. ඉතාම සතුටුයි අරූ අයියෙ. පළමු උත්සාහය සඳහා ලැබුන ප්‍රතිචාර සියල්ලම ගොඩක් ඉහලයි. අරූ අයියා දුන්න ලින්ක් එකටනම් ගියා ඒත් ඒකෙ වීඩියෝ එක පෙන්නන්නෙ නෑ. මේ ක්ලිප් එක යූ ටියුබ් අප්ලෝඩ් කරලත් නෑ වගේ. "උත්තරීතර" වැඩසටහනනම් අති විශිෂ්ඨයි. මං ඒ කීපයක්ම බැලුවා. උත්තරීතර වල ගිය රත්න ශ්‍රී සර් ගැන ප්‍රෝග්‍රෑම් එක ඉතාම කදිමයි බලන්න නොලැබුනානම් මෙන්න අයියෙ ලින්ක් එක.

      www.youtube.com/watch?v=fW_U3GEBWiQ

      ඇත්තෙන්ම, වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම මෙතුමා අදීන මිනිසෙක්. ඒ කතාව මාත් අහල තියෙනවා. කපුගේ ශූරීන් සන්ෆ්ලවර්ස්ලා සමඟ ගී ගයන්න පටන් ගැනීමයි ඔය නඩු මගට යන්න මූලිකම හේතුව වෙලා තියෙන්නෙ.

      ස්තූතියි ඔබට. ජය වේවා!

      Delete
  14. පට්ට නෙ කොල්ලො...
    හැමදාම වෙනත් අයගෙ ඒවම දාන එකේ පෝස්ටු තුනට එතක් වත් ඔයාගෙ ඒව දාන්න... ජයවේවා..
    දිගටම ලියමු

    ReplyDelete
    Replies
    1. පහුවෙලාහරි කමෙන්ට් එකක් දාපු එක ලොකු දෙයක් මහියො. මොකද මේ මගේ පලමු විචාරයනෙ. ඒ නීසා හැමෝගෙම අදහස් මට ගොඩක් වටිනවා.

      මාත් හිතාගෙන ඉන්නෙ එහෙම තමයි මචං. සතියකට වතාවක් හරි මගේම විචාරයන් අරං එන්න උත්සාහ කරනවා.

      ගොඩක් ස්තූතියි මහේෂ්.

      Delete
  15. "වෙනදා වාගෙම තල මල පිපිලා
    තිබුනට ඇල ලඟ වත්තේ...
    මෙතන කියවෙන්නේ රජරට ජන ජිවීතය පෝෂනය කරන තල හේනක්ද නැතිනම් අවාසනාව ගෙනෙන තල් ගසේ මල ද ?
    මට හිතෙන්නේ නුවර කලාවියේ ගැමියාගේ ආර්ථිකය ශක්තිමත් කරන තල මල ගැන

    ReplyDelete
    Replies
    1. බොහෝම පරක්කුවෙලා උනත් ඇනෝ මේ මතුකරපු කාරණයනම් ඉතාම වටිනවා. ඔතන ඔය තල මල පිපිලා කියන යෙදුමෙන් රචකයා අරුත්ගන්වන්න උත්සාහ කලේ මොකක්ද කියන එක ඇත්තෙන්ම මටත් ප්‍රශ්නයක්. ඔය අර ඉතාම කලාතුරකින් පිපෙන මුළු ගමකටම අභාග්‍ය කැන්දන් එන තල් මලද කියල සැකයක් තිබුනා මට. ඒත් වෙනදා වාගෙම තල මල පිපිලා කියල තියෙන නිසා මේක සාමාන්‍ය සිදුවීමක් විදියටයි රචකයා දකින්නෙ. ඒ නිසා ඇනෝ මේ මතුකරපු කාරණය ගීතය සඳහා වඩාත්ම සාධාරණ අදහස කියල මටත් දැන් හිතෙනවා.

      ඇත්තෙන්ම ඔබට ස්තූත්යි..ඔබේ මේ නිර්මාණාත්මක තර්කානුකූල අදහස් ඉතාම වටිනවා. ආරධනාකරනවා දිගටම රැඳී ඉන්න කියල.

      Delete
  16. මොනෝශ් මල්ලි, ඔබේ බ්ලොග් එක දැකපු පලමු වතාව මේ. ඉතාම විශිෂ්ඨයි. ඒ වගේම කලකින් දැකපු හොඳ ගීත විචාරයක්. නමුත් මෙහි පොඩි පොඩි අඩු ලුහුඬු කම් කීපයක් දැකපු නිසා ඒවාත් කියන්නම්.
    මුලින්ම මේ ගීතය ගැන කියනවානම් මෙය මා ඇසුවේ මීට අවුරුදු 15කට විතර කලින්. එදා සිට අද දක්වාම මා ඇසූ විශිෂ්ඨම ගීතය මෙයයි. සිය දහස් වරක් ඇසුවත් මෙහි අරුත පසක් කර ගන්නට අවුරුදු ගනනක් ගතවුනා. ඒ වගේම මේ ගීතය හෙල ගීත කලාවේ අග්‍ර ඵලය කියන්නටත් පුලුවන්. රන් බන්ඩා මහතාගේ උලලේනෝ, දවසක් පැළ නැති හේනේ වැනි ගීත තරම් ජනප්‍රිය නොවුනත් මෙය ඊට වඩා බොහෝ ඉදිරියෙන් ඇති ගීතයක්.

    මෙය බැලූ බැල්මට විරහ ගීතයක් වුනත් ඇත්තටම හිරිමල් යොවුන් වියේ කුලුඳුලේම ඇතිවන ප්‍රේමය ගැන කියවෙන්නක්. මෙහි "පුන්චි ඔසරි මැණිකේ" යනුවෙන් පැවසීමෙන් රන් බන්ඩා මහතා අදහස් කරන්නේ ඔසරිය යනු ආවට ගියාට අඳින අඳුමක් නොවන බවවත්, මැය බොලඳ පෙම්වතියගෙන් එහා ගිය උදාර හෙල කතක් බවවත් නොවේ. ඇත්තටම සුමනා ඊයේ පෙරේදා වැඩිවිය පත්වුනු අවුරුදු 13ක 14ක හිරිමල් කෙල්ලක්. අපි ඉස්කෝලේ 9 වසර වෙනකන් කොට කලිසන් ඇඳලා 10 වසරේදී දිග කලිසම් අඳින්න පටන් ගන්න එක විශේෂ අවස්ථාවක්. එතකොට ඒ වෙනස දකින අපි දන්න අඳුනන අය අපිට ඔච්චම් කරන්නේ "දිග කලිසම් මහත්තයා" හෝ එවනි යමක් කියායි. ගැහැනු දරුවෙකුටත් ඉස් ඉස්සෙල්ලාම ඔසරිය අඳිනවා කියන්නේ ජීවිතේ වැදගත් කාලයක සිදුවන දෙයක්. මොකද එසේ අඳින්නට පුලුවන් වන්නේ වැඩිවියට පත් වුනාම නිසායි. ඒ නිසා මොහු මෙය තමාගේ පෙම්වතියට සුරතලයට කියන්නක් බව සිතාගත හැකියි. ඇගේ සැබෑ නම වන සුමනා යන්න සඳහන් කිරීමට කලින් "පබලු නගා, නාමල් තිලකේ, පුන්චි ඔසරි මැණිකේ" යන ආදයට කියූ නම් කියමින් ඔහු තම පෙම්ව්තියට හඬ ගසන්නේ. ඒ වගේම මනෝශ් ඔබ "පුන්චි ඔසරි මැණිකේව" වැරදි තනින් අල්ලා ගැනීම නිසා ආපු තවත් වැරදි නිගමනයක් තමයි ඔහු තම පෙම්වතිය කෙලිලොල් තරුනියගෙන් එහාට ගිය උදාර හෙල කතක් ලෙසත්, තම දූ දරුවන්ගේ මව වන්නට සිටින තැනතිය බවත් සිතනබව සිතීම. යන්තම් වැඩිවිය පැමිනුනු ගැටයෙකු තම සිත්ගත් තරුනිය ගැන එසේ සිතීම තර්කානුකූල නැහැ. ඇත්තටම රන්බන්ඩා මහතා මේ ආමන්ත්‍රනය තුලින් උත්සාහ කරන්නේ මොවුන්ගේ වයස පිලිබඳව ඉඟියක් ලබා දීමට.

    මේ ආමන්ත්‍රනය හැරුනු විට මෙහි ඇති අනෙක් ප්‍රබලම වදන් දෙක තමා "ඔලිඳ" සහ "මදටිය". ඔලිඳ වැලක් යට මදටිය ගහක් යට ඇට වැටී තිබෙනු දුටුවොත් දුවගෙන ගොහින් ඒවා අහුලන්නේ කුඩා වුන්. ඔවුන් ලමා විය පසුකොට නව යොවුන් වියට එළැඹුනත් ඒ පුරුදු තවත් ටික කාලයකට එහෙමම තියනවා. පරිනත වැඩිහිටියන් ඒවා අහුලන්ට කරදර වන්නේ නැහැ. මොහු තම පෙම්වතිය සමග ඔලිඳ ඇහිලූ බව කීමෙන් නැවතන් මොවුන්ගේ වයස පිලිබඳ ඉඟියක් ලැබෙනවා. ඒ වගේම මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇළක් ගැනත් කියවෙනවා. ඇත්තටම මේ මදටිය ගහකින් ඇලට මදටිය වැටෙන්නේ නැහැ.( එහෙමෙ මදටිය ඇටයක් වැටෙන්න සෑහෙන වෙලාවක් බලා ඉන්න සිදුවේවි.) සිදුවන්නේ ඔහු තම පෙම්වතිය සමග ඇහිලූ මදටිය, ඇළ ඉවුරේ වාඩි වී ඇය සමග පෙම් බස් දොඩනා අතර තුර එකිනෙක ඇලට විසිකිරීමයි. වෙනදා කුඩා වියේ දී මදටිය අහුලා ගෙදර ගෙනගොස් පරිස්සම් කර තැබුවත්, ක්‍රම ක්‍රමයෙන් වයසින් මුහුකුරා වැඩෙන ඔහුට ඒවායින් තව දුරටත් ඵලක් නැහැ. පුරුද්දට වගේ ඇහිලුවත් ඔහු ඒවා එකිනෙක ඇලට විසි කරනවා. එදිනෙදා පරිසරයේ දකපු දේවල් තුල වෙනදා නොදුටු සුන්දරත්වයක් ඔහු දකින්නේත් ඔහු තුල ඇතිවන විපර්යාසය නිසා.

    අනික තමා ඔලිඳ කියන්නේ මහා වෘක්ෂයක් නොව කුඩා වැල් වර්ගයකුයි. එහි කොලය සියඹලා කොලය වාගේ. තල මල කියන්නේත් වසර ගනනාවකට වරක් පමනක් පිපෙන පුෂ්පයක්. එසේ පිපුනාම එය දින කිහිපයක් යන තුරුම පර වන්නේ නැහැ. තල මල"වෙනදා වාගෙම" පිපී ඇති බව කීමෙන් සුමනාගේ වියෝව ඉතා මෑතක සිදු වූවක් බව සිතාගත් හැකියි. දින කිහිපයකට කලින් සුමනා සමග එකට එක්ව තලමලේ අසිරිය වින්දත් අද සුමනා නැහැ. තලමල පමනක් තාම පර නොවී තිබෙනවා. ඒ වගේම අපේ පැරනි ගම්වල ගැමියන් තලමල පිපීම සැලකුවේ අසුබ පෙර නිමිත්තක් හැටියට. ඉන් කියවුනේ නපුරක් ලඟ එන බවයි. අපේ කථා නායකයා නොදැන උන්නත් ඒ නපුරට ගොදුරු උනේ සුමනායි.

    මා කලිනුත් කීවා වගේ මේ ගීතයේ තිබෙනවා ප්‍රබල වචන තුනක්. ඒ "පුන්චි ඔසරි මැණිකේ" ,"ඔලිඳ" සහ "මදටිය". ඉන් මේ හිරිමල් ප්‍රේමයේ නැවුම් බව කියවෙනවා. එමෙන්ම මේ ප්‍රේමය නිකැලැල් වීතරාගී ප්‍රෙමයක්. ඕනෑම පුද්ගල්යෙකුගේ ප්‍රථම ප්‍රේමය හැමවිටම සුවිශේෂී වූවක්. සමහර විටෙක එය එක් බැල්මකට සිනහවකට හෝ වචන කිහිපයකට සීමා විය හැකියි. නමුත් ප්‍රේමය පිලිබඳ කුලුඳුලේම ලබන අද්දැකීම නිසා එය සදාකාලික වනවා. ඛේදාන්තයකින් අවසන් වුනත් මොහුගේ ප්‍රෙමයත් ඉන් වෙනස් වන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇනොනිමස්.... ඔබ කවුද? ඔබ කවුරු උනත්, ඔබ සුභාවිත ගීයට බෙහෙවින්ම ඇලුම් කරන සහෘද රසික හිතවතෙක් බවනම් පැහැදිලියි. මේ මගේ පළමු ගීත විචාරය. මෙතරක් ඈතක ලිපියකට ඔබේ පූර්ණ අවධානය මෙලෙස යොමුව තිබීම ගැන මට ඔබ කෙරෙහි ඇතිවෙන්නෙ ගෞරවයක්. මුලින්ම ඔබට ඒ පිළිබඳ ස්තූතියි.

      ඊළඟට ඔබ කරුණු කාරණා ගොනුකරමින් ගීයට කෙටියෙන් මෙලෙස ලබා දී තිබෙන විවරණය බෙහෙවින්ම සාධාරණ බව පෙනෙනවා. මට නොපෙනුන නැවුම් කෝණයකින් ඔබ ගීය දැකල තියෙනවා. ඇත්තෙන්ම ඔබේ තර්කය මගේ විවරණයට වඩා ප්‍රායෝගිකයි. මං එය නිහතමානිව බාර ගන්නවා. කොහොමත් මගේ මේ පළමු ගී විවරණයට පසු මම මගේ ස්වයං ගී විචාර, සංවේදනා රාශියක් නිම කලා. ආපසු හැරිල බලද්දි, මගේ මේ පළමු විචාරයේ බොහෝ අඩුපාඩු මටත් පේනවා.

      කොහොම උනත් ඔබට බෙහෙවින්ම ස්තූතියි, හැකිනම් දිගටම මා සමඟ රැඳී ඉන්න.

      Delete
  17. Githawala attama wastubijaya soya dakwanawa nam hodai...wede nam patta ...

    ReplyDelete
  18. ගේය පද සහ කපුගේයන්ගේ හඬ පමනක් ගැන ලියා තියෙනවා..ලංකාවේ ගොඩක් ඔහොමයි .ගීයක වෙනස ඒ කියන්නෙ ගීයක් වෙන්නේම මියුසික් නිසා...
    ඒගැන ලියාම නෑ...
    මේක අගනාම සංගීත මුසුවක්...රංබංඩා කපුගේගේ මෙහි හඬට කිව්වෙ සොහොන් හඬක් කියා....
    ඒ වගේම තල මල පිපිලා කියන ප්‍රබල රූපකයත් ඔබ අමතක කරලා...තල මලක් පිපුනම ගම පාළු වෙනව කියන පාරම්පරික මතයයි ඔහු මින් අරන් දෙන්න හදන්නෙ...

    මෙය ගැඹුරින් සංගීතය ගැන කථා කල හැකි ගීයක්...
    ඒ වගේම රංබංඩගෙ රචනාවල ස්ථායි කොටසක් නැහැ..කිසිම ගීයක නැහැ..කොටසයි යලි යලි ගායනා වෙන්නෙ...
    එයත් ඔබ අමතක කලා...
    නැවත ලියද්දී ගීයේ සංගීතය ..සංගීත භාන්ඩ වලින් දෙන හැඟීම්..ආකෘතිය වෙනස් වීමත් කතා කරන්න...ස්තූතියි...එරන්ද සමරකෝන්..

    ReplyDelete