Pages

Sandumal

Sandumal

Sunday, May 11, 2014

•ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා


"කලා වැවේ නිල් දියවර අපෙ අම්මා..."





"අම්මා" තරම් ආදරණීය වචනයක් තවත් කොහිද? අලුත උපන් දරුවා බහ තෝරද්දී කිරි සුවඳ මුවෙන් ප්‍රථමයෙන් ගිලිහෙන වචනය අම්මාය. ඇය ආදරයේ උල්පත බව ප්‍රේමකීර්ති ලියා තැබුවේය. මක්සිම් ගෝර්කි "අම්මා" යනුවෙන් නවකතාවක් වෙන් කළේය. අම්මා ගැන ලියවුණු ගී කව් අප්‍රමාණය. ඒ අතර අමරණීය ගීත රචනාවන් රාශියක් පවතී. ඉන් කීපයක් මේ සටහන ආරම්භයේ සිහිපත් කරමි.



ආදරයේ උල්පත වූ අම්මා - වික්ටර් (ප්‍රේමකීර්ති)
අම්මාවරුනේ - නන්දා මාලිනී (ධර්මසිරි ගමගේ)
මිහිමඬලේ අඳුරු කුසේ - නන්දා මාලිනී (ඩබ්.ඒ.අබේසිංහ)
දෙවැනි බුදුන් ලෙස - සුනිල් එදිරිසිංහ (සුනිල් ආරියරත්න)
දවසක් පැල නැති හේනේ - ගුණදාස කපුගේ (රන්බණ්ඩා සෙනවිරත්න)



මා මෙහි සඳහන් කළේ නිර්මාණ කීපයක් පමණි. ග්‍රේෂන් ගැයූ "බිළිඳුනේ දරුවනේ", ඇන්ජලීන් ගැයූ "අම්මලා දුක්ගන්නේ" වැනි ගීතවල සිට "ජීවිතේ මල් අම්ම ඉන්න කල්" දක්වාම මවු ගුණ ගී ගැයී ඇත. සිංහල පද්‍ය සාහිත්‍යයේ ද අම්මා පිළිබඳ ලියැවුණු අවස්ථා අප්‍රමාණය. ඒ අතර පසුකාලීන බොහෝ රචකයන්ගේ නිර්මාණ සඳහා පෝෂණය සැපයූ අපූරු කාව්යයක් මෙහිදී සිහිපත් කරමි.

"ඇවිද ලඳු දෙණි කැලෑ බිම්වල
රැගෙන විත් තුන්හිරිය පන්කොළ
වියා නෙක් විසිතුරු රටා පැදුරු
රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කල සිට ම මට
කියා දුන් අම්මා ඔබය"
(ප්‍රබුද්ධ – මහගම සේකර)

දරුවකු වැදූ පමණින් මවක නොවන බවත් මවක වීමේ සුදුසුකම දරුවකු වෙනුවෙන් අපරිමිතව කැපවීම බව බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් නැමැති ජර්මානු නාට්‍යකරුවා හුණුවටයේ කතාවේ දී සිහිපත් කළේය.

"මවුගුණය ඇති අය
දරුවන් දිනිය යුතු වෙය
ගොවි දන මනා වූ
ලැබිය යුතු වූ සේම ගම් බිම්"
(බර්ටොල්ට් බ්රෙෂ්ට් ගේ හුණුවටයේ කතාව)
හෙන්රි ජයසේන පරිවර්තනය)

මවු ගුණය ඇති සැබෑ මවුවරුන් ගැන ගැයුණු ගී පදමාලාවන් අතර අතිවිශිෂ්ට පදමාලාවක් ලෙස සුනිල් දයානන්ද කෝණාරයන්ගේ "ගමට කලින්" ගීතය හඳුන්වා දිය හැකිය. බෞද්ධ සංස්කෘතියෙන් හික්මුණු අපගේ ග්‍රාමීය මාතාවන්ගේ උතුරා යන මවුගුණය මෙතරම් ගැඹුරින් ඇගැයීමට ලක් වූ නිර්මාණ අල්පය.


"ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩිනා
ඒ හිරු එළියෙන් නැණමල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලාවැවේ නිල් දියවර අපෙ අම්මා"

මෙම ඉර පායන්නට පෙර නිවසේ මුළුතැන්ගෙට පායන හිරු මඬල අම්මා ය. හිරු එළියෙන් විකසිත වෙන අනේකවිධ පුෂ්පයන් සේ ඇය දරුවන්ව පාසල් යවයි.

"අඬන විට මා කුඩා අවදියේ බඩගිනිව
තම්බා බතල දලු
ලුණු දියර ඉස
පොල් හා මුසුකොට කවා
බඩගිනි නිවූ අම්මා ඔබය"
(ප්‍රබුද්ධ – මහගමසේකර)

ඇය එසේ හැදූ වැඩූ දරුවන් සමාජයට වැඩදායක පුරවැසියන් බවට පත්වූ විට ඇය නිහඬව විඳින්නේ ලොව්තුරු සුවයකි. එසේ නම් සරුසාර කෙත්වතු දහස් ගණනක් අස්වැද්දූ කලාවැවේ නිල්දියවර ඈ නොවේද? කෝණාරයන් ලාංකීක ශිෂ්ටාචාරය හා බෞද්ධ සංස්කෘතිය මත මේ උදාරතර මවුගුණය බද්ධ කිරීමට නිර්මාණයේ ආරම්භයේ පටන්ම සමත්වී තිබේ. මේ නිසා සැබෑ ලාංකික මවකගේ උත්තරීතරත්වය, හා ගුණ සුවඳ නිර්මාණයෙන් වහනය වෙයි. එය විටෙක සැබෑ ආසියාතික මවගේ ද මවුගුණය ද මේ නිර්මාණයේ ගැබ් වේ.

"රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු - සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් - සිත නෑ නිදි විඳගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන - නින්දේ හීන දකින්නේ
මහමායාවනි කවදා දෝ ඔය නෙත් - දරු සෙනෙහසින් මිදෙන්නේ"

දරුවන් ලොකු මහත් වූ පමණින් මේ මවුගුණය හමාර නොවේ. ඔවුන්ගේ ජීවිත පුරාම ඇය සෙවණැල්ලක් බවට පත්වෙයි. තම රැකීරක්ෂා නිමකොට දරුවන් නිවසට එනතුරු ඈ මඟබලා සිටින්නීය. දරුවන් ප්‍රමාද වී නම් කළුවර හඬා වැටුණත් ඈ නොනිදන්නීය. දරු සෙනෙහසින් නොමිදෙන ඇයව රචකයා "මහාමායාව"ට සමාන කරනුයේ ඇගේ උත්තරීතර මවුගුණය වෙනුවෙන් ඇය ඇමතීමට සුදුසුම වචනය එය බැවිනි. දරුවන්ට සියල්ල පිරිනමා දරුවන්ගෙන් කිසිවක් බලාපොරොත්තු නොවන මේ මවුගුණයට ආශිර්වාද කරනු විනා දරුවන් වෙන කුමක් කරන්නද? එම නිසාම රචකයා එම මවු ගුණයට ආශිර්වාද කරයි.

"වෙල් එළිවල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවක ඇවිළෙන පහන් වැටක් සේ
තුන්සිත නිවී සැදේවා"

"මතු උපදින සසරේ විශාඛාව වී
මෙත් මඟ නෙත් හමුවේවා
ඇත් රැජිනියනේ ඔබෙ නැළවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා"

මේ "අම්මා" සිංහල බෞද්ධ සංස්කෘතියේ නිර්මාණයකි. ඒ නිසා රචකයා බුදුදහම හා සම්බන්ධ යෙදුම් ඇයට ආශිර්වාද කිරීම සඳහා යොදාගනී. විහඟ ගීත බණ පද වන්නටත් පහන් වැටක ඇති සංයමය සිතට ලබන්නටත් බුදුන් දැක නිවන් දකින්නටත්, අනුන්ට නිවන් මඟ පෙන්වන්නටත් ඇයට හැකියාව ලැබේවා! යනුවෙන් ප්‍රාර්ථනා කරන්නේ එබැවිනි. රචකයා භාවිතා කරන "ඇත් රැජිනියනේ" නැමැති යෙදුම කලාතුරකින් ඇස ගැසෙන කාව්‍යෝක්තියකි.

"මගෙ ඇත් රජුනි හිමි සඳ අද කොතැනකද?"
(යසෝදරාවත – ජනකවි)

අප්‍රමාණ දුක් ගැහැට විඳ දරා ගැනීමට යෝධබල යෝධ සවිය තිබූ ඈ වෙනුවෙන් ජනශ්‍රැතියෙන් උකහා ගත් ඒ යෙදුම වඩාත් යෝගය්‍ය ය.

සුනිල් දයානන්දයන් මෙන්ම කරුණාරත්න දිවුල්ගනේ නම් ගායකයාණන් ද මේ මවුගුණය, ගැමි සුවඳ හොඳින් හඳුනාගත් මිනිසුන් වීම නිර්මාණයේ සුගායනයට බෙහෙවින් හේතුවී තිබේ. උදෑසනක මේ ගීතය ශ්‍රවණය වෙද්දී එය අමාදහරක් මෙන් හදවත තෙමා ගලා හැලෙයි. මේ සටහන අවසන් කිරීමට පෙර මම සුනිල් දයානන්ද කෝණාරයන් වෙනුවෙන් සටහනක් තබමි.

ඔහු ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලේ සංගීත ගුරුවරයාය. ගැඹුරු මුහුදක් මෙන් නිසලය. කීර්තිය ජනප්‍රියත්වය සොයා යාමට අබමල් රේණුවක වෙහෙසක් නොගනියි. නිහඬව තම මෙහෙවර ඉටු කරයි. අඩුවෙන් කතාකරයි. වැඩියෙන් වැඩ කරයි. කලා වෙළඳ පොළේ විකුණුම් භාණ්ඩයක් වීමට උත්සාහ නොකරයි. බෙලිකටුවලින් පිරි කලාව නැමැති සාගරයේ ඔහු මුතුකැටයකි. සංගීත ඥානයෙන් ද සාහිත්‍යය ඥානයෙන් ද පිරිපුන් මිනිසෙකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ බොහෝ දෙනා ඔහු ගැන නොදනිති.

නැතිනම් නොදන්නවා සේ සිටිති. ඔහුගේ පාසලේ ඇතැම් ශිෂ්‍යයන් ද ඔහුව හඳුනන්නේ සාමාන්‍ය ගුරුවරයෙකු ලෙස පමණක් බව මම පෞද්ගලිකව දනිමි. ශිෂ්‍යයෝ බහුතරයක් ඔහු තුළ සිටින නිර්මාණශීලී මිනිසා නොදකිති. පාසල් ගුරුවරුන් හෝ මේ මිනිසාගේ වටිනාකම දන්නවා දැයි නොදනිමි. මේ කිසිවක් ඔහුට නම් අදාළ නොවේ. ඔහු වැඩ ඉල්ලාගෙන යන්නෙක් නොවේ. ඔහුගෙන් වැඩක් ගැනීම සත්කෝරළයේ පමණක් නොව මුළු මහත් ශ්‍රී ලංකාවේ ම වගකීමකි. එසේ නොමැති නම් ඔහු වටා තිබෙන ලෝකයේ මෝඩ උද්ධච්ච බවට හා කුහකත්වයට ගොදුරු වී මේ ජාතික සම්පත අප අපතේ හැරියා වනු ඇත. මේ අහිංසක මිනිසා හුදෙකලා වනු ඇත.




(Gamata Kalin Hiru - Karunarathna Divulgane)





(ගීත විචාරය ධම්මික බංඩාර මහතා විසිනි. ඡායාරූප අන්තර්ජාලයෙනි.)




***********************************************************


කණට නුපුරුදු නමුත් රසය අසීමිත වූ දුර්ලබ ගීත දෙකකට පසු අද මා ඔබ වෙත ගෙන ආවෙ ඔබේ සවනට ඉතාම සමීප ඔබට නිතර ඇසෙන ඔබ නිතර රසවිඳින ගීතයක් හා විචාරයකි. ගීතය කෙතරම් සුලබ නමුදු සවන් වැකෙන හැම මොහොතකම කිසි දින අසා නැති මියුරුතම ගීතයක් ලෙස යලි යලිත් අලුත් වෙමින් රසවිඳිය හැකි මෙම ගීතයද මෙරට බිහි වී ඇති විශිෂ්ඨ ගනයේ මවු ගුණ ගීත අතර අග තැන්පත් වී ඇත්තේ මවු ගුණ ගීත සාහිත්‍යයේ ලකුණ, සංඛේතය ලෙස බවයි මගේ හැඟීම.

ගීතය ඔබෙ නෙතට සිතට වඩා සමීප බැවින් ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡාකිරීමට මා මෙය අවස්ථාවක් කරනොගන්නා අතර ඒ වෙනුවට ඔබ වෙත ඉදිරිපත් කිරීමට තරමක් විශේෂ වැදගත් කාරණාවක් ඇත. එනම් මගේ බ්ලොග් සටහන් තුලින් මෙතෙක් කල් මා ගෙන ආවෙ ප්‍රවීණ ගීත රචකයකු සහ ගීත විචාරකයකු වන ධම්මික බංඩාර මහතාගෙ ගීත විචාරයන්ය. ආ ගමන් මඟ තුලදී මා හා අත්වැල් බැඳගත් බොහෝ සහෘදයන්ගේ නිරන්තර ඉල්ලීමක් වූයේ ධම්මික බංඩාරයන්ගේ ගීත විචාර වලට පමණක් සීමා නොවී මවිසින් විචාරය කරන ලද, ස්වයං ගීත විචාරයන්ද ගෙන එන ලෙසය.

නමුත් තවමත් මගේ අදහස සහ මා ඔවුන්ට ප්‍රකාශ කල දෙය වූයේ ගීතයක් විචාරය කිරීමට තරම් උගත් කමක් සුදුසු කමක් මා සතු නොවන බවය. මාද ඔබ සියලු දෙනා මෙන්ම ගීත රසිකයකු පමණක් බවය. ඇත්ත වශයෙන්ම මා සිතන ආකාරයට ගීතයක් විචාරය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා ඉතාම උසස් සාහිත්‍ය දැනුමක්, සිංහල දැනුමක් තිබිය යුතුය. තවද ගීත නිර්මාණයන් පිලිබඳ හොඳ සමීප දැනුමක්, ඇසුරක් පැවතිය යුතුය. ඉතින් කරුණු එසේ හෙයින් මගේ මතය වන්නේ ගීත විචාරය කිරීම සඳහා මා තවමත් කිසිසේත්ම සුදුසු නොවන බවය.

එසේ වුවද කලිනුත් කී පරිදි පාඨක ඉල්ලීම මේ වන විට බැහැර කිරීමට නොහැකි තරම් දැන් උත්සන්න වී ඇත. විශේෂයෙන්ම මගේ බ්ලොග් සටහන් තර නිතර සැරිසරන කුරුටු ගෑ ගී පවුරේ සමාජිකයන් මේ ඉල්ලීම මගෙන් නිතර ප්‍රබලව ඉල්ලා සිටී. එවැනි බොහෝ බ්ලොග් මිතුරු මිතුරියෝ, මගේ මේ ප්‍රයත්නයට සුබපතන්නන් මේ ඉල්ලීම, මේ යෝජනාව, මෙම අදහස නිතර මා හමුවට ගෙන ආවෝය. එමෙන්ම නිතර බ්ලොග් ලොවට එබී බලන්නේ නැති වුවද ඔබ තවම නොහඳුනන, නමුදු කවි සංකල්පනා තුලින් ළඟදීම බ්ලොග් ලොව ඔබ අප අතරට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින මගේ මෙම උත්සාහයට නිරන්තරයෙන් මා හට අපරිමිත ශක්තියක් වන මගේ දයාබර සෙනෙහෙවන්තියද නිතර මා හට පැවසූයේ මගේම ගීත විචාර ඉදිරිපත් කිරීමට කාලය එළඹ ඇති බවය. මුල සිටම ඇගේ අදහස වූයෙ එයයි. නමුදු මගේ දෙගිඩියාවට ඉඩ දෙමින් මම ඉන් වැලකී සිටියෙමි.
කෙසේ වුවද දැන් මාහට තවදුරටත් මෙය මඟහැරීමට නොහැකි තත්වයට පත්ව ඇති අතර එනිසා අවසානයේ මගේ ගීත විචාරයක් ඔබ හමුවට ගෙන ඒමට තීරණය කෙලෙමි.

ඒ අනුව එම ගීත විචාරය මේ වන විට සකසමින්, කරුණු එකතු කරමින් සිටින අතර එම විරාමය අතර තුර ඔබට රසවිඳීමට අද මෙම ගීත විචාරය ගෙන ආවෙමි. ඉතින් මගේ මීළඟ පෝස්ට්ටුව තුලින් එම ගීත විචාරය ඔබට ගෙන ඒමට මම බලාපොරොත්තු වෙමි. 

එසේනම් එතෙක් මෙම ගීත විචාරයද රසවිඳින්න. වෙනද වගේම එකතු වී අපි අපේ වටිනා අදහස් බෙදාගමු..

30 comments:

  1. ඔන්න අපිම ආවා මේ සුභ මොහොත සමරන්න. ස්තූතියි මනෝෂ්. බොහොම ස්තූතියි. විශේෂයෙන් ම අපි හැම දෙනාම ඉල්ලුව දේ වෙනුවෙන් ඔබ සවන් දුන්නාට ස්තූතියි. ඔබේ අලුත් ජීවිතයට අපේ සුභ පැතුම්.......................

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි ගී පවුරේ..

      Delete
  2. ඔව් උඹ කලබල වෙන්න එපා. තමන්ට විශ්වාසයක් ආවම ඒ දේ පටන් ගන්න. ඒ වෙනකං ඔය කරනවා වගේ කරුණු එකතු කරමින් වැඩ කටයුතු කරන්න..

    ReplyDelete
    Replies
    1. වැඩේ පටන්ගත්තා දේශක. ඉක්මන් උනා වැඩිද මංද.

      Delete
  3. මනෝෂ්, අපි විශ්වාස කරන විදිහට ගීතයක් විචාරය කරන්න සුදුසුකම් ඕනේ නෑ. අවශ්‍ය වෙන්නේ ගීත රසවිදීමේ හැකියාව සහ එය සෞන්දර්යාත්මක ව විදීමේ හැකියාව පමණයි. ඒක බ්ලොගය තුළ අකුරු කරන්නට යම් වචන මාලාවක් අවශ්‍ය බවත් අමතක නොකළ යුතු නමුත් ඔබ සතුව මේ හැකියාවන් සියල්ලම මොනවට තියෙනවා මනෝෂ්. ඉතින් මොනම දේ කරන්න වුණත් අපි ඒක එක පොඩි තැනකින් පටන් ගත යුතුයි. ඉතින් ධම්මික බණ්ඩාරයනුත් පළවෙනි දෙවැනි විචාරය ඒ තරම් හොදට නොකරන්න ඇති. නමුත් දැන් ඔහු මහා විචාරකයෙක්. මට විශ්වාසයි ඔබගේ පළමුවැනි විචාරය ධම්මික බණ්ඩාරයන්ගේ පළවෙනි විචාරයට වඩා හොද වේවි. මොකද ඔබ කාලයක් ගීත විචාරය ගැන අධ්‍යයනයක හිටපු නිසා. එහෙනම් අලුත් ජීවිතය පටන් ගනිමු....

    තව වචන කීපයක් කියන්න ඕනේ මනෝෂ්. අපි මෙහිදී කියන්නේ නැහැ තනිකරම ඔබේ නිර්මාණ විතරක් කරන්න කියලා. මුල් කාලයේ ඔබගේ නිර්මාණයන් මෙම විචාරයන් සමගින් මැදින් මැදින් ගේන්න. ක්‍රමයෙන් ඔබගේ විචාර හැකියාව ගොඩනැගෙද්දී ඔබේ නිර්මාණ වල ප්‍රමාණය වැඩි කරන්න.

    හොදයි කියලා හිතෙනවානම් මාතෘකාව දාන තැනම / කෑල්ල දාලා ධම්මික බණ්ඩාර ද මනෝෂ් ද කියන දේ දාන්න. ඒක ඔබේ අනන්‍යතාවය ගොඩනගා ගැනීමට වැදගත් වේවි. මේ අපි ඔබවෙත ගෙනා අදහස් ටිකක් විතරයි. උපදෙස් කියලා හිතන්න එපා. සහෝදරයින් හැටියට කියපු දේවල්. කොහොම වුණත් අපේ ඉල්ලීමට සවන් දීමට අපි ආයෙමත් ස්තූතිවත්ත වෙනවා. මේ තවත් ධම්මික බණ්ඩාරයෙකුගේ පළමුපියවර වෙනවට අපි කැමතියි මනෝෂ්.............

    අනික තමයි කවි කතාව. ඇයි මේච්චර කල් ඒ ගැන නොකිව්වේ. ඒ කතාව ගැන අනික් හැමෝට ම වැඩිය කැමති වෙන්නේ අපි. කාව්‍යකරණය පටන් ගන්න ඔබ හිතාගෙන ඉන්න විදිහ කියන්නකෝ මනෝෂ්.... ආසයි අහන්නට...

    ReplyDelete
    Replies
    1. මේ වචන ටික පුදුම ශක්තියක් ගී පවුරේ. මේ ඇරඹුමට මූලිකම හේතුව, මඟ පෙන්වීම උනේ ගී පවුරෙ කණ්ඩායම. මාව මේ තරම් ඉස්සරහට ගෙනාවෙ ඔයාල. ඇත්තටම ඔයාලගෙ හයියෙන් ඒ වචන වල ධෛර්‍ය්යෙන් තමා මං මේ ගමන පටන්ගත්තෙ. බයක් නැහැ. හොඳටම දන්නවා ඔයාල මං ළඟින්ම ඉන්න බව. ඔයාලගෙ මේ අදහස්, උදවු, යෝජනා තමා මේ ගමනට මට ශක්තියක් වෙන්නෙ. ඉතාම නුදුරෙදි ගීත විචාරය පල කරනවා. ආයෙමත් සැරයක් ඔයාලට ගොඩක්ම ස්තූතියි මිතුරනේ..

      Delete
    2. ආහ්.. කියන්න අමතකවුනා. හ්ම්.. කවියේ කතන්දරය නේද. ඒක මෙහෙමයි කුරුටු, මං අර උඩින් කීව වගේ ඒ කවිකාරිය මගේ සෙනෙහෙවන්තිය. මගෙත් එක්ක ජීවිතේ බෙදාගන්න ඉන්න කෙනා. ඇය ඉතාම හොඳ කවිකාරියක් කුරුටු. මගේ නිසා කියනවා නෙවෙයි, ඇගේ නිර්මාණ හැකියාව ඉතාම ඉහළයි. අනික් විශේෂත්වය තමා ඇගේ කාව්‍ය නිර්මාණ වලට නිතරම පාදක වෙන්නෙ එදිනෙදා ජීවිතයේදී ඇගේ හදවත සංවේදී වන සැබෑම අත්දැකීම්. ඒ නිසා ඒ නිර්මාණ ගොඩක් සජීවීයි.

      ඒත් කුරුටු වැඩේ කියන්නෙ මේ කවිකාරි එළියට ගන්න හරිම අමාරුයි. ඇය මගේ නිර්මාණ වලට මහමෙරක් වෙලා මං ළඟින් ඉන්නවා. ඒත් ඇගේ නිර්මාණ ඇගෙයි, මගෙයි ලෝකයට සීමාකරගෙන. මේ දවස් වල මගේ උපරිම උත්සාහය මේ බ්ලොග් කලා ලොවට ඇගේ කවීත්වය එක් කිරීමටයි. ඒත් ඇය ඒකට කැමති නෑ. නමුත් කොහොමහරි මං ඇය වෙනුවෙන් බ්ලොග් අවකාශයක් ඇයට ගොඩනගල දෙන්න උත්සාහ කරනවා.

      Delete
  4. උඹෙම ගීත විචාරයක් දකින්න මාත් කැමතියි. ඒත් ඊට කලින් //ඉතින් කරුණු එසේ හෙයින් මගේ මතය වන්නේ ගීත විචාරය කිරීම සඳහා මා තවමත් කිසිසේත්ම සුදුසු නොවන බවය.// ඔන්න ඔය අදහස වෙනස් කරගෙන හිටින්.

    කරනවනම් බය නැතුව "ඔව් මට පුළුවන්." කියන තැන ඉදගෙන පටන් ගනින්. නැත්නම් මානසිකත්වය ඒ තත්වෙට එනකම් කරන්න එපා.

    වරද්ද ගන්න එපා මම කියන්නෙ උඹේ විචාරෙ ගැන නෙමේ. මානසික තත්වෙ ගැන. ඒක ධනාත්මකව තියා ගනින්.

    කරන පළවෙනි විචාරෙ සාර්ථක, අසාර්ථක වීම නෙමේ වැදගත් ඒ කරන හැම විචාරයක් තුලින්ම ඊළග විචාරයට පන්න‍රයක් ලබා ගැනීමයි වැදගත්.

    උඹ "මට බැහැ" කියාගෙනම පටන් ගත්තොත් කොච්චර සාර්ථක උනත් උඹ ඊළග එකටත් යන්නෙ හිතේ චකිතෙන්… ඒ වගේම ඔය බැහැ කියන දේ නිසාම උඹේ උපරිමය ගන්න අමාරු වෙයි. අන්න ඒ නිසා "මට පුළුවන්, දැන් මම ලියනවා" කියලා වැඩේට අත ගහන්.

    මම දන්නවා උඹට ඔය වැඩේ පුළුවන්. අපිට මනෝ ගැන තියන විශ්වාසෙ උඹත් ඇතිකර ගනින්.

    අත ගහන්න යන අළුත් වැඩේට හදවතින්ම සුබ පැතුම්………!!!

    "බය වෙන්න එපා උඹට ඒක පුළුවන්."

    ReplyDelete
    Replies
    1. ප්‍රියා, මහමෙරක වගේ බං මේ වචන ටික. හිතේ යම් චකිතයක්, කුලෑටිකමක් තිබුනනම්, මගෙ හිතෙන් උඹ බොහොම ලේසියෙන් ඒවා ගලවල වීසිකරල දැම්මා. අවුලක් නෑ බං. මට පුලුවන්. හෙට හෝ අනිද්දා උඹලට මගේ විචාරය්ක් කියවන්න පුලුවන්.

      \\මම දන්නවා උඹට ඔය වැඩේ පුළුවන්. අපිට මනෝ ගැන තියන විශ්වාසෙ උඹත් ඇතිකර ගනින්.//

      බොක්කටම වැදුනා මේ වචන ටික. ආයෙ චුරු චුරු ගගා ඉන්නෙ නෑ බං. වැඩේ පටන්ගත්තා. ස්තූතියි මචං ගොඩක්ම..

      Delete
  5. කලක සිට නිතර ඇහෙන් අප දෙසවනට ඉතා සමීප ලස්සන ගීතයක්. මේ ගීතය රසවිඳපු නැති කෙනෙක් නැති තරම්.

    ReplyDelete
    Replies
    1. ඒක හරි මචං. කවදාවත් රසය නොනැසෙන අපූරු ගීතයක්..

      Delete
  6. බෑ කියලා හිතනකන්ම බෑ තමයි.... අඩු පාඩු උනොත් කියවන අය පෙන්නලා දෙයි,බය නොවි ලියහන් ....

    අනික උඩින් කියලා තියෙනව නේ අම්මා පොත ඔය පොත කියවලා තියෙන්නෙ කියෙන් කී දෙනා ද?බොලොග් ලියන අය නම් කියවලා ඇති අනිවාර්යයෙන් මොකද බ්ලොග් ලියන අය මං හිතන්නෙ පොත් පිස්සො කියලා ගොඩක් අය ...නැත්නම් මේ කියවන කියවිල්ල කරන්න බෑ .. :)))))

    ReplyDelete
    Replies
    1. ඒක හරි සහෝ.. මං ලියන්නෙ. උඹල කියවන්නෙ. ඉතින් වැරදි තිබුනොත් හදාගන්න බැරියැ. උඹලගෙ ශක්තිය මට මහමෙරක්.

      Delete
  7. Successfully added your blog to Sindi Lanka. Thank you for joining with us

    ReplyDelete
    Replies
    1. Thank you very much dear team. It was very helpful for my future..

      Delete
  8. උඹට මොකක්ද කරන්න පුළුවන් කියලා දන්නේ උඹයි අනිත් හැමෝටම වැඩිය. ඒ වෙනුවෙන් පියවරක් ඉදිරියට තබපන්.
    ..........................................................................................................
    වික්‍රමශිලා විදුහලේ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.

    /////අපේ මහා ගාන්ධර්වයා විශ්‍රාම යයි.

    1982 ජූලි 01 දින සිට වසර 30 ක් පමණ කාලයක් අප සමග සේවය කරමින් විද්‍යාලයට ඉමහත් කීර්තියක් ලබා දීමට කටයුතු කල සුනිල් දයානන්ද කෝණාර (සංගීත ගුරුතුමා) 2012-06-29 වන දින සේවයෙන් විශ්‍රාම ලබා ගත්තේය. ඒ වෙනුවෙන් සංවිධානය කෙරුනු විශේෂ උපහාර උළෙලක් එදිනම විද්‍යාලයේ දී පැවැත්විනි./////////

    "වහින්නට හැකිනම් ගිඟුම්දී" නන්දාමාලිනී ගායනා කල මේ ගීතයේත් සංගීතය සුනිල් දයානන්ද කෝණාරගෙ.

    මනෝෂ් 10/05/13 දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩ සටහන බලන්න. රත්න ශ්‍රී විජේසිංහයන්ව බොහෝ කලකින් දුටුවා. සේකරයන්ගේ ගීත හඳුන්වාදීමක් කරනවා එතැනදි හරි ඉහලයි.

    ReplyDelete
    Replies
    1. ඒක හරි අරූ අයියෙ. ඔහොමත් මේ පටන්ගත්ත වැඩේ මං දැන් ඉවරකරනවා.

      එහෙනම් ධම්මික බංඩාරයන් කීව විදියට්ම ඒක උනා. මේ සුන්දර මිනිසා තව තවත් අපෙන් ඈතට සැඟවී ගියා..? මේ අමන සමාජය මේ සොඳුරු කලාකරුවන්ගේ අගය වටහාගන්නැති හැටි. මොනතරම් නම් මෙහෙවරක් ඔවුන්ගෙන් ලබාගත හැකිව තිබුනද.

      "වහින්නට හැකිනම් ගිගුම් දී.." පවතින කුණුවෙච්ච සමාජ ක්‍රමය තුලින් පීඩාවට පත්වෙච්ච දහසක් මිනිසුන්ගේ දුක දකින හැම වෙලාවකම මේ ගීතය මගේ දෙසවන පාරනව. මේ ගීත තවත් අපට නෑසිය යුතුයි. එනම් මෙවැනි දේවල් ප්‍රාර්ථනා කිරීමට අවශ්‍ය නොමැති සමාජයක් ගොඩනැංවී තිබිය යුතුයි. නමුත් දිනෙන් දින සිදුවන්නේ මේ ගීත වල වටිනාකම වැඩිවීමයි. එනම් දිනෙන් දින සමාජය තcඅ තවත් දුකින් දුකට පත් වීමයි.

      අරූ අයියෙ, ඔයා මේ කියන වැඩසටහන කලින් විකාශය වූවක්ද? වෙබ් එකෙන් ගන්න හෝ බලන්න පුලුවන්ද? රත්න ශ්‍රී විජේසිංහයන්ගේ වචනය්ක් ඇසීම පවා මගේ සිතට පුදුම අස්වැසිල්ලක්.

      Delete
    2. http://www.col3negoriginal.cc/watch.php?id=54157
      මේ ලින්ක් එකේ අහපන්. හැබැයි පොඩ්ඩක් තැන් තැන්වල කැඩි කැඩි ඇහෙන්නේ. ඇසිය යුතුමයි.

      Delete
    3. ගොඩක්ම ස්තූතියි අරූ අයියෙ. ඉතාම වටිනා ඔත්තුවක්. වීඩියෝ ක්ලිප් එක ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. බලල ඇවිත් විස්තර කියන්නම්.

      Delete
    4. වීඩියෝව නැරඹුවා අරූ අයියෙ. ඇත්තටම ගොඩක් පිං මේ දුන්න දුර්ලබ අවස්ථාවට. රත්න ශ්‍රී විජේසිංහයන් ස්වර්ණමාලියේ ගීතය කෙතරම් අපූරුවට විචාරය කරනවද. මේ සුන්දර මිනිසාගෙනුත් පසු මේ ගීත sසාහිත්‍ය පෝෂණය කරන්න ඉතුරුවෙන්නෙ කවුද...?

      Delete
  9. ඉස්සරම මම ඉස්කෝලේ රැස්වීම් වලදී නිතරම කිවුවේ මේ සිංදුව තමයි.. ඇත්තටම මම ඒකට මාරම ආසයි..

    මනෝෂ්, ගීයක් ගැන තමන්ට හිතෙන අවංකම අදහස ලියන්න ප්‍රවිණත්වයක් ඕන නෑ.. ඒඛ විචාරයක් විදිහට හරි සටහනක් විදිහට හරි කියවන්නා බාර ගනීවි.. ඔබට තියෙන්නේ නිදහසේ ලියන්න විතරයි..

    ReplyDelete
    Replies
    1. පාසැල් සමයේදී මමත් කීප වතාවක්ම ඔය සිංදුව කියල තියෙනවා දිනේෂ්.

      එහෙම තමා කලේ දිනේෂ්. මං දන්නෙ නෑ දිනේෂ් මං කලේ ගීත විචාරයක්ද, නැත්නම් වෙන මොකඛරිද කියල. හැබැයි ගීතය ගැන මං දන්න දේ, මට හැඟුන දේ මට හිතුන විදියට ලිව්වා. හෙට අනිද්දම ඒක අරගෙන එන්නම්..

      Delete
  10. ඔය වගේ ගීත ගයපු ගායකයගේ දැන් භාවිතයත් එක්ක ගනිද්දි ඔයා ගීත විචාරයට බහින එකේ කිසි අවුලක් නෑ.මොකද මේක බමුණු කුලවාදී වෙන්න ඕන නෑනේ.කිසි ගැටළුවක් නෑ විචාරය කරන්න.මේ ගීතය ගැන කියනවා නම් මේක අපි දන්න ගැමි සාහිත්‍යයේ එන යෙදුම් ගණනාවක් යොදාගෙන අම්මා ගැන ලියවිලා තියෙනවා.මේ වගේ ගීත වලට ඕන නම් බොහෝම ලස්සන රූප රචනා නිර්මාණය කරන්න පුළුවන්.ඒත් ඊටත් වඩා මේ ගීතයේ වදන් වල චිත්තරූප මැවීම අති ප්‍රබල වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අමුතු ඒකෙ ගැටලුවක් නෑ. මං දැනටමත් ලියලත් ඉවරයි.

      ඇත්තටම ගායකය ගැනනම් කතාකරල වැඩක් නෑ. කපුගේ තුලින් බිහිවුන මේ ගායකය මේ තරම් පහත් තත්වෙට වැටුණද කියලත් හිතාගන්න බෑ. මෙයා විතරක් නෙවෙයි. මේ විදියෙම තවත් එක්කෙනෙක් ඉන්නවා.

      Delete
  11. තමන්ට කල හැකි දෙයක් වෙත්නම් ඒ දේ කරන්න පැකිලෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔව් මධුරංග ඔබ හරි. ඔයාල හැමෝගෙම මේ වචන ලොකු දිරියක්. ගොඩක්ම ස්තූතියි..

      Delete
  12. අඩු පාඩු තිබුනොත් කට්ටිය පෙන්නලා දෙයි.. හදවතින්ම සුබ පතනවා ...

    ගීතය ගැන කියනව නම් මේකත් මම ආසම කරන ගීතයක්.. හොඳ සාදාරන විචාරයක් ඉදිරිපත් කරලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි. ඔයාලගෙ උදවු ලැබෙන බව විස්වාසයි.

      Delete
  13. තනියම විචාරයක් ලියන්න හිතට අාපු එක ගොඩක් හොදයි.. ඉන් ඔබටම කියා අන්‍යතාවයක් ගොඩ නගාගත හැකියි.. සමහර විට වරදින්න පුළුවන්.. බලන අය අඩුපාඩු පෙන්නල දෙයි.. සමහර විට නිර්ධය විවේචන එයි..
    නොසැලී යමු.. ලියමු. උඹට පුළුවන්..

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් විදානෙ, හැම දෙයක්ම බලාපොරොත්තුවෙන් වැඩේටඅතගැහුවා. ගොඩක්ම ස්තූතියි මචං මේ වචන වලට.

      Delete