Pages

Sandumal

Sandumal

Friday, January 17, 2014

•තනි තරුවේ...

තනි තරුවකට ලියූ ගී පද

"තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණී
තනි තරුවේ...

මහද අරණ ළතැවි ළතැවි
රැඳෙනු බැරි ඉගිළි ඉගිළි
මගෙන් ඉවත ඇදිලා සැනසී
තනි තරුවේ...."

ගී පද - ප්රේමකීර්ති අල්විස්
සංගීතය හා ගායනය වික්ටර් රත්නායක


තනි තරුවේ....... යැයි මුහුදු වැල්ලේ දිගාවී ප්රේමකීර්ති කෑ ගැසුවේ . ඔහුට ඉහළින් ආකාසයේ තනි තරුවක් පායා තිබුණේ . ඔහු අසල වික්ටර් රත්නායකයන් හා තවත් කීපදෙනෙක් අලස සුවය විඳිමින් සිටියෝ . මචං... ප්රේම් අන්න එහෙම සින්දුවක් ලියපං... වික්ටර් කීවේ . ප්රේමකීර්ති ලියුවේ . ප්රේමකීර්ති ගොරහැඩි හඬින් කෑගැසූ තනි තරුවේ .... යන වචනය වික්ටර් රත්නායකයන් සංගීතවත් කොට ගායනා කළේ . තවත් සියවසක් ගතවුණ ද අමතක නොවන අපූරු නිර්මාණයක් තුළින් බිහිවිය. තනි තරුව පිළිබඳ මා දන්නා කතාව එයයි. එහි සත් අසත්යතාව දන්නේ වික්ටර් රත්නායකයන් හා එතැන සිටියා නම් එතැන සිටි අය පමණකි. ප්රේමකීර්ති අද අප අතර නැත. ඔහු වෙන්ව ගියා නොව කවුරුන් හෝ ඔහු අපෙන් වෙන්කර දමා තිබේ.

වචනයට යා හැකි දුර නතර වූ තැන උපදින්නේ සංගීතයයි . සඳහා තනි තරුවේ නම් වූ නිර්මාණය කදිම නිදසුනක් වේ. ප්රේමකීර්තිගේ වචන නිශ්චිත ඉලක්කයක් කරා එල්ල වන්නක් නොවේ. එහෙත් හදවත පසාරු කරගෙන යන පාළු වේදනාත්මක බවක් ශ්රාවකයා තුළ ඉතිරි කිරීමට මේ ගීතය සමත්වෙයි.


"තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා"


කෙතරම් අපූරු චිත්රයක් ? තරුව සිටින්නේ අහසේ . තමා සිටිනුයේ මහ පොළවේ . දුරස් වී එකිනෙකා දෙස බලා සිටිනු මිස වෙන කුමක් කරන්නද? තරුවක් තනිවී ඇත. ඔහුත් තනිවී ඇත. ඉතින් අපි දෙතැනක හිඳ එකිනෙකා දෙස බලා සිටින්නෙමු.

මේ තරුව කවුද? ප්රේමවන්තියක් හෝ බිරියක් විය නොහැකි ? නමුත් ඇය තරුවක්ම . ජීවිත කාලය තුළ ඔහු ඇගෙන් එළිය බිඳක් හෝ ලබාගෙන තිබේ. ඇය අහසේ සිටියත් වෙන්වී දුරස් වුණත් ඇය තරුවක් . නිසා ඔහුට කෙසේවත් ඇයට වෛර කළ නොහැකිය. කළ හැක්කේ බලාසිටීම පමණක් මය.


"නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණී
තනි තරුවේ..."


මේ තරුව ඔහුගේ ළඟින් සිටියා වූ තරුවකි. ඔහුට ආදරය කළ තරුවකි. ජීවන ගමන්මඟ එළිය කළ තරුවකි. තනි නොවී සිටි තරුවකි. එහෙත් දැන් තනි තරුවකි.

තමාගේ ළඟින් සිටි පෙම්වතිය හෝ බිරිය රචකයා විසින් සංකේතවත් කරනු ලබයි. සරල සුගම බස් වහර ප්රේමකීර්ති ගේ ගේය පද කලාවෙහි සුවිශේෂ අංගයකි. සරල වචන කීපයකින් උපරිම ප්රයෝජන ගැනීමේ හැකියා ඔහු තුළ ජන්මයෙන් දායාද වී පැවැති බවට පහත සඳහන් නිදර්ශනය ප්රබල සාක්ෂියක් බවට පත්වෙයි.


"මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි"

ගී පද - ප්රේමකීර්ති අල්විස්
සංගීතය හා ගායනය - මර්වින් පෙරේරා
(Me Nagaraya - Mervin Perera)




ඔහුගේ භාෂාව තුළ කවිත ගුණය හා ගේයතා ගුණය මනාව රැඳී පවතී. එසේම අනුකාරක බවින් අත්මිදුණු නැවුම් සුවඳක් ඔහුගේ බස්වහරෙහි රැඳී තිබෙන බව වටහා ගනු පිණිස ඔහු වික්ටර් රත්නායකයන්ට ලියූ තවත් ගී පදයක් නිදසුන් ලෙස තබමි.


"ඔබෙ දෙතොල් පෙති ලිහී
පිපුණු හසරැල් විලේ
හද දියව ගලායයි
දලුලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි
තුන් සිතම සලිත වේ
සසර සැරි සරන තුරු"


ගී පද - ප්රේමකීර්ති අල්විස්
සංගීතය හා ගායනය  වික්ටර් රත්නායක

(Obe Dethol Pethi Lihee - Victor Rathnayaka)




යළිත් අපි තරුව දෙස හැරී බලමු. කාලයක් ඔහු ළඟ දුකින් සිටිය තරුවකි. මේ තාරකාවියට දරන්නට බැරි කිසියම් දුකක් ඔහු නිසා උරුම වී තිබේ. දුක කුමක්දැයි රචකයා නොකියයි. එක් එක් පුද්ගලයන්ගේ පෞද්ගලික අනුභූතීන්ට අනුකූ® දුක විවිධාකාර විය හැකි . අවසානයේ මේ තාරකාවිය සැනසීම සොයාගනු පිණිස ඔහුගෙන් වෙන්ව ගොස් තිබේ.


"මහද අරණ ළතැවි ළතැවි
රැඳෙනු බැරි  ඉගිළි ඉගිළි
මගෙන් ඉවත ඇදිලා සැනසී
තනි තරුවේ...."


එහෙත් ඔහු තුළ වෛරයක් ඉතිරි වී නොමැත. වෙන්වීම ඇයට සැනසීමක් නම් එය උපේක්ෂාවෙන් දරාගැනීමේ හැකියාව ඔහු තුළ පවතී. ඔහුගේ ප්රාර්ථනය දෙතැනකට වී වෛර නොකොට එකිනෙකා දෙස උපේක්ෂාවෙන් බලා සිටීම පමණකි. මේ උපේක්ෂා සහගත ගුණය ප්රේමකීර්තිගේ වෙනත් නිර්මාණ තුළ දක්නට හැකිය.


"මා නැත අන්සතු සිත් රිදවා
දෑතම බැඳගෙන ඉඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස්තලයට පවරා"

ගී පද - ප්රේමකීර්ති අල්විස්
සංගීතය හා ගායනය  වික්ටර් රත්නායක
(Sandaken Wetila - Victor Rathnayaka)




තනිතරුවේ ගීතය මීළඟට හැඩවන්නේ් වික්ටර් රත්නායකයන් අතිනි. ජනසංගීතයේ නාද මාලා එතුමෝ මෙහි දී මැනවින් සංයෝග කරති. කොත්තරොටී සංගීත මල්ලිලාට හා නංගිලාට මතු සංසාරයේ හෝ ඉගෙනගත හැකි බොහෝ දේ වික්ටර් රත්නායකයන් තම සංගීත නිර්මාණ තුළින් දැනටමත් උගන්වා තිබේ.

මම මුහුදු වෙරළක උඩුකුරුව වැතිරී සිටිමි. ඈත ආකාසයේ පුංචි තනි තරුවක් මට දිස්වෙයි. මම තනි තරුවේ.. කියා කෑ නොගසමි. මගේ ඇසට කඳුළු බිඳුවක් නැෙඟයි. ප්රේමකීර්ති වෙනුවෙනි.



(Thani Tharuwe - Victor Rathnayake)







උපුටා ගැනුම : සිඵමිණ පුවත්පතෙහි පුන්කලස අතිරේකය සඳහා ධම්මික බණ්ඩාර මහතා විසින් ලියන ලද ලිපියකිනි.



No comments:

Post a Comment